ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අන්තර්ජාලය ඔස්සේ පළමු හමුව පැවැත්වූ බවත් ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ජයග්‍රහණ පිළිබඳව තමන් ඔහුට සුබ පැතූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඊයේ (07) සිය නිල X ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
තමන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සුබ පැතූ අතර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා IMF විධිවිධානයෙන් සහාය ලබන අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම සාකච්ඡා කළ බව ද ඇය ප්‍රකාශ කර ඇත.
ඇය සිය X ගිනුමේ තැබූ සටහන පහත දැක්වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම හමුව ඊයේ (07) පැවැත්විණි.
2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිම කර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ.
මෙම හමුව අතරතුර, 2022 වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කෘතවේදීත්වය පළ කළේය. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක් විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි දී කළමනාකාර අධ්‍යක්ෂවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය අනුර කුමාර දිසානායක මෙහිදී ඇගයීමට ලක් කළේය.
ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා මෙම අඛණ්ඩ සහයෝගිතාවේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ තුන් වන සමාලෝචනය සම්පූර්ණ කිරීම මෙන්ම බැඳුම්කර හුවමාරුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ජෝර්ජිවා ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කළාය. ප්‍රධාන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ශ්‍රී ලංකාව දරන ලද උත්සාහය කළමනාකාර අධ්‍යක්ෂවරියගේ පැසසුමට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කැප වීම යළි තහවුරු කළාය. විශේෂයෙන් ඉහළ ගෝලීය අවිනිශ්චිතතා, ගෝලීය ආර්ථික වර්ධනයෙහි මන්දගාමිත්වය සහ ගෝලීය ණය මට්ටම් ඉහළ යාම හමුවේ යහපාලන රාමු සමඟ සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කිරීමේ වැදගත්කම ජෝර්ජිවා මෙහිදී අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ ජනතාවගේ ශක්තිමත් ජනවරම පිළිබිඹු කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන සමඟ තවදුරටත් ඉදිරියට යාමට සහ එකඟ වූ ඉලක්ක ජනතාවගේ අභිමතාර්ථයන්ට යටත්ව සම්පූර්ණ කර ගැනීමේ සූදානම ජනාධිපතිවරයා මෙහිදී යළි තහවුරු කළේය. ඒ වෙනුවෙන් දුප්පතුන් නඟා සිටුවීම සඳහා අවැසි යාන්ත්‍රණ ක්‍රියාත්මක වන අතරම සුබසාධන වියදම් ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් බව ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය. විදුලිබල ක්ෂේත්‍රය ආදියෙහි විධිමත් පාලනය සහ පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය මගින් රජය සතු ව්‍යවසායන් වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීමද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ණය අවදානම අවම කිරීම සහ තිරසාර හා සාර්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් විදේශ සෘජු ආයෝජන සහ සහාය ලබා ගැනීමේ වැදගත්කම ද අනුර කුමාර දිසානායක මෙහිදී පෙන්වා දුන්නේය.
විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ඉතිරි සමාලෝචන සාර්ථකව නිම කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපතිවරයා මෙහිදී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වෙත සහතික කර සිටියේය.
අනාගතය දෙස බලන විට, ශ්‍රී ලංකාව තිරසාර හා සමානාත්මතා සංවර්ධනයක් කරා තීරණාත්මකව යොමු කිරීමේ වැඩසටහන යටතේ ඇති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය නොපිරිහෙලා ඉටු කිරීමේ අවශ්‍යතාව ජෝර්ජිවා මෙහිදී අවධානයට ලක් කළාය. විශේෂයෙන් තාක්ෂණයේ සහ භූ දේශපාලනයේ වේගවත් ගෝලීය වර්ධනයන් සැලකිල්ලට ගෙන, තිරසාර ලෙස යළි යථා තත්ත්වයට පත් වීමේ ක්‍රියාවලියෙහි අභියෝගාත්මක බව ඇය පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි භූමිකාවද පැහැදිලි කළාය. සියලු ක්ෂේත්‍ර ඇතුළත් සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව සූදානම් බවද ක්‍රිස්ටලිනා අවධාරණය කළාය.
ශ්‍රී ලංකාව සඳහා තිරසාර ස්ථාවරත්වයක් අත් කර ගැනීම සඳහා අඛණ්ඩ සංවාදයක් සහ සහයෝගීතාවක අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙහිදී ද්වීපාර්ශ්වික වශයෙන් එකඟ වූහ. සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් සඳහා එක් ව කටයුතු කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් කැපවීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.







