ශ්‍රියානි විජේසිංහ –
රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් වලින් සියයට 50න් ලැබෙද්දී වෛද්‍යවරුන්ගේ වැටුප වැඩිවුණේ සියයට 10න් බැවින් මේ පිලිබද මනා අවබෝධයක් ඇතිව කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අනෙකුත් වෘත්තීය සමිතිවලින් ඉල්ලිමක් කරයි.
සමස්ත රජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 20000න් ඉහළ නැංවීමට යෝජනා වුවද ඉන් සියයට 50ක් නැතහොත් රුපියල් 10000ක මුදලක් ලබා දුන් අතර වෛද්‍යවරුන්ගේ දීමනාවන්ගෙන් ලබා දී ඇත්තේ සියයට 10ක ප්‍රමාණයක් යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.
සෞඛ්‍ය සේවාව යනු කණ්ඩායමක් බවත් මේ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් බවත් පෙන්වා දෙන මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන් නැතිව අනෙකුත් කණ්ඩායම්වලට රාජකාරිය කළ නොහැකි යැයි ද පැවසුවේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ එක එක ස්තර තිබෙන බවත් ඒ අයගේ වගකීම, වගවීම, රාජකාරිය, අධ්‍යාපන මට්ටම , රැකියාවේ ස්භාවය, අවදානම මෙම කාරණාවන්ට අනුව එක් එක් ස්ථරවලට ලැබිය යුතු දීමනාවන් සහ වැටුප් තීරණය වන බවත් හෙතෙම පෙන්වාදේ.
පද්ධතියේ නායකත්වය ගන්න පිරිස රටට අහිමි වුණොත් එතැන ලොකු හිඩසක් ඇතිවෙන බවත් . පද්ධතිය ඉන් එහාට යාමට බැරිවෙන බවත් ඔහු කියයි.
වෛද්‍යවරුන්ට මේ දීමනාව ලැබුනේ කාලයක් පුරා අරගෙන ගිය වැඩපිළිවෙලක ප්‍රතිපලයක් ලෙස බවත්, එකවර නින්දෙන් ඇහැරී ලබා ගත් දෙයක් නොවන බවත් පෙන්වා දෙන වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් පවසා සිටිනුයේ අවුරුද්දක කාලයක් පුරා මේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව ව අදාල පාර්ශ්ව දැනුම්වත් කළ බවය.
ඒ සඳහා විසදුම් යෝජනාවලියක් ලබා දී එම යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නේ යැයි ද ඔහු පැවසුවේය.
“ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශ්වත් එක්ක සාකච්ඡා කර බැරිම තැන පාරට බැහැලා ගත්ත ක්‍රියාමාර්ගයන්ගේ ප්‍රතිපලයක් ලෙසයි මේ දීමනාව ලැබුනෙ, නමුත් තමන්ට හිමි දීමනාවන් ඉල්ලා අනෙකුත් සෞඛ්‍ය කණ්ඩායම් සටනක යෙදුනු බවක් අපි දැක්කෙ නෑ…” රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වාදේ..