ලංකාවේ ප්‍රධානතම ව්‍යවසායකයෙක් වූ ඩී.එස්.අයි සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙක්වන සජිත් රාජපක්ෂ ගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට පසුගිය 22 දා උදෑසන වෙඩි තබාගෙන ඇත්තේ ඔහුගේම සැලසුමකට අනුව ඔහු විසින්ම කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පුද්ගලයෙක් බව විමර්ශන අංශ විසින් හෙළි කරගෙන ඇත.
සජිත් රාජපක්ෂ ඩි.එස්.අයි. සමූහ ව්‍යාපාරය ගොඩනැගූ සැම්සන් රාජපක්ෂගේ මුණුබුරෙකි. වර්ෂ 2009 දී අධ්යක්ෂවරයෙක් ලෙස සැම්සන් සමූහ ව්‍යාපාරයට එක් වන ඔහු සැම්සන් ඉන්ජිනියර්ස් පුද්ගලික සමාගමේත්, සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමේත්, මවුන්ට් ස්ප්‍රිං වෝටර් පුද්ගලික සමාගමේත්, අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.
මේ වනවිට මෙම සමාගම් සමූහයේ බලය සම්බන්ධව දරුණු අභ්‍යන්තර බල අර්බුදයක් මතු වී ඇති බව වාර්තා වේ.
ව්‍යාපාර සමූහයේ සියලුම පරිපාලන කටයුතු පවතින්නේ සැම්සන් රාජපක්ෂගේ දරු මුනුබුරන් අතරය. මේ වනවට ව්‍යාපාර සම්බන්ධව පවුල තුළ මතු වි ඇති දැඩි විරසකය හේතුවෙන් තමන්ට මරණීය තර්ජන ඇති බව පෙන්වීම සඳහා සජිත් රාජපක්ෂ විසින් නිවසට වෙඩි තබා ගැනීම තමන් විසින්ම සැලසුම් කර ඇති බව පොලිස් විමර්ශන අංශ කියයි.
වෙඩි තබා ගැනීමෙන් අනතුරුව තමන්ට තම පවුලේ සාමාජිකයන්ගේන් මරණීය තර්ජන ඇති බව ප්‍රකාශ කර ඔහු බොරැල්ල පොලිසියේ පැමිණිල්ලක් දමා තිබේ. සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ වන්නේ ඒ අනුවය.
මෙම වෙඩි තබා ගැනීම සිදුකර ඇත්තේ ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් ලබා දීමෙන් බවත්, සිද්ධිය සම්බන්ධව සජිත් රාජපක්ෂගේ රියදුරු, පුද්ගලික ආරක්ෂකයා සහ හමුදාව හැර ගිය පුද්ගලයෙක් කිරිඳිවැල දී ටී.56 ගිනි අවියක් සහ පතොරොම් ගැබ් සමග අත්අඩංගුවට ගත් බවත් විමර්ශන අංශ කියයි.
පොලිසියත් නොමග යවමින් අදාල සැලසුම සිදුකළ සජිත් රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධව පරික්ෂණ පවත්වයි.







