පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2021 වසරේදී මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබුණ ද, ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම නව කමිටුව පත් කිරීමට තීරණය කර ඇත.
අද (22) ප්‍රකාශයට පත් කළ කැබිනට් තීරණ අතර ප්‍රවාහන, නිවාස, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට අදාළ තීරණ කිහිපයක් ද වේ.
ප්‍රවාහන හා මාර්ග සංවර්ධනය
අන්තර් පළාත් මගී සේවා බලපත්‍ර නිකුත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. පවතින බස් රථ හිමියන් ආරක්ෂා කරමින් නව ආයෝජකයින්ට අවස්ථා ලබා දීම මෙහි අරමුණයි. එසේම, කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දීර්ඝ කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 356ක කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට ද අනුමැතිය හිමි විය.
නිවාස සහ යටිතල පහසුකම්
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්තිය යටතේ 2019 වසරේ සංශෝධනය වූ ජාතික නිවාස ප්‍රතිපත්තිය යළි සංශෝධනය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ. මීට අමතරව 2015-2019 කාලයේ අතරමඟ නතර වූ නිවාස ව්‍යාපෘති 2,562ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 11.26ක අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය බව හඳුනාගෙන ඇති අතර, එම ගැටලු විසඳීමට ද කමිටුවක් පත් කර ඇත.
අධ්‍යාපන හා සංස්කෘතික
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල නිම කිරීම සඳහා රුපියල් මිලියන 177ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර තිබේ. එමෙන්ම, වාණිජ අධ්‍යාපනය නංවාලීම සඳහා 2026-2028 කාලය තුළ දිවයින පුරා ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් මධ්‍යස්ථාන 100ක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරේ.
සංස්කෘතික වශයෙන් වැදගත් තීරණයක් ලෙස, අම්පාර නීලගිරි ස්ථූපයෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලා ලබන මැයි මස ඇමරිකාවේ ටෙක්සාස්හි ප්‍රදර්ශනය කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අවසර ලබා දී ඇත.
සෞඛ්‍ය සහ ආරක්ෂක
වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා අවශ්‍ය ඩයලයිසිස් ද්‍රාවණ බෑග් 800,000ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 889ක ප්‍රසම්පාදනයක් අනුමත කර ඇත. තවද, ‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන යටතේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන 6ක් ස්ථාපිත කිරීමටත්, ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට ඉරාජ් චමින්ද පතිරාජ ස්ථිර පදනමින් පත් කිරීමටත් තීරණය කර තිබේ.
අද ප්‍රකාශිත සම්පූර්ණ කැබිනට් තීරණ මෙසේය.
- පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, එවැනි සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිසන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2021-05-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එම නිර්දේශයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමානුකූල, විධිමත් සහ ස්ථාවර ක්‍රම වේදයක් මෙතෙක් ස්ථාපිත වී නොමැති වීම හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීමට දැනට ක්‍රම වේදයක් නොමැත. එබැවින්, එම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන හා ජාතික ආරක්ෂාව පෙරදැරි කර ගත් පුළුල් සංවිධානාත්මක ව්‍යුහයකින් යුත් ක්‍රම වේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇති අතර, ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන් සහ ප්‍රති – ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
- ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබා දීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රම වේදයක් හඳුන්වා දීම
අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබා දීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-12-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සකස් කරනු ලැබූ නව ක්‍රම වේදය සමාලෝචනය කිරීමෙන් අනතුරුව 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනතේ සඳහන් නිර්ණායකයන් ද සැලකිල්ලට ගනිමින් අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබා දීම සඳහා නව ක්‍රම වේදයක් ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් සකස් කරනු ලැබ ඇත. මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාශීලීව සිටින බස් රථ හිමියන් ආරක්ෂා වන පරිදිත්, නව ආයෝජකයින්ට පොදු ප්‍රවාහන සේවා සැපයීමට ඇති අවස්ථාවන් පුළුල් කිරීම මඟින් ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට මගීන්ට ඇති අයිතිය තහවුරු වන පරිදිත් එකී ක්‍රමවේදය සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
03.ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ක්‍රි.පූ.1-2 සියවස් වලට ඇයත් නීලගිරි ස්ථූප කැණීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා සහ තායිලන්ත රජයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතූන් වහන්සේලා මෙන්ම මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇත. එම සර්වඥ ධාතුන් වහන්සේලා 2026-05-02 දින සිට 2026-05-10 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට කටයුතු සංවිධාන කර දෙන ලෙස එම භාවනා මධ්‍ය ස්ථානයේ ගරු රතනගුණ ස්වාමීන් වහන්සේ සහ ගරු පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී සර්වඥ ධාතුන් වහන්සේලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවීම සඳහාත්, එකී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව ලබා දීම සඳහාත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
- ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
වත්මන් රජයේ ‘ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත ‘සුවපහසු නිවසක් – සනීපාරක්ෂක ජීවිතයක්’ නිවාස ප්‍රතිපත්තිය මඟින් ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ප්‍රජාව සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක නිවාස හා යටිතල පහසුකම් සඳහා ප්‍රවේශයක් සැලසීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරනු ලැබ ඇත. ඒ අනුව, නිවාස හා ජනාවාස කරණයේ සියලු සංරචක ආවරණය වන පරිදි හා ඒ පිළිබඳ නව ගෝලීය ප්‍රවණතා ද සැලකිල්ලට ගනිමින්, 2019 වර්ෂයේ දී අවසන් වරට සංශෝධන කරනු ලැබ ඇති ජාතික නිවාස ප්‍රතිපත්තිය නැවත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ජනාවාස කරණය පිළිබඳ කාලීන අභියෝග ජය ගැනීම සඳහා තිරසර විසඳුම් සෙවීමට හැකිවන පරිදි ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා සහ එකී සංශෝධනය මානව ජනාවාස කරණය සම්බන්ධ විශේෂඥයින්ගෙන් සමන්විතකමිටුවක් මඟින් සිදු කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- 2015-2019 වර්ෂවල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කිරීම
2015-2019 කාලසීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ව්‍යාපෘති 2,562 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබී ඇති අතර, ඒ යටතේ ඉදිකිරීමට අපේක්ෂා කර තිබූ මුළු නිවාස සංඛ්‍යාව 64,407 කි. ඒ අනුව, නිවාස ආධාර යටතේ ගම්මාන 1,138 ක් ද, ප්‍රතිලාභීන් වෙත නිවාස ණය ලබා දීම මඟින් ගම්මාන 1,334 ක් ද, ඉන්දීය රජයේ ආධාර යටතේ ගම්මාන 90ක් ද වශයෙන් එකී නිවාස ව්‍යාපෘති සැලසුම් සකස් කර තිබී ඇත. එහෙත්, ඉන් වැඩ නිමවා විවෘත කිරීමට හැකි වී ඇත්තේ ගම්මාන 386ක් පමණක් වන අතර, වැඩ අවසන් කරන ලද මුළු නිවාස සංඛ්‍යාව 10,532කි. ඉතිරි නිවාස සම්පුර්ණ කිරීම සඳහා තවත් රුපියල් බිලියන 11.26 ක අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වන බවට ඇස්තමේන්තු කර තිබේ. එකී ව්‍යාපෘතිවල ප්‍රගතිය අවම වීම කෙරෙහි විවිධ හේතු බලපා ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින්, එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය විශ්ලේෂණය කර සත්‍ය වශයෙන්ම නිවාස අවශ්‍යතාව පවතින අඩු ආදායම්ලාභි පවුල් හඳුනා ගැනීමටත්, අතරමඟ නතර වූ ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාව පදිංචි කරවීමටත්, ලබා දුන් ණය මුදල් අයකර ගැනීමේ විධිමත් ක්‍රම වේදයක් සකස් කිරීමටත් අදාළව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
06.ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය සඳහා බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය සඳහා බහුකාර්ය ගොඩනැගිල්ලක්, රුපියල් මිලියන 486ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ඉදි කිරීම පිණිස 2018 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබුණ ද, ව්‍යාපෘති කාල සීමාව තුළ මුහුණ දීමට සිදු වූ විවිධ බාධක හේතුවෙන් ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිමි කර ගැනීමට හැකි වී නොමැත. එම ව්‍යාපෘතිය සඳහා වන සංශෝධිත මුළු පිරිවැය රුපියල් මිලියන 663 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීම සඳහා රුපියල් මිලියන 177ක අතිරේක ප්‍රතිපාදන සලසා ගත යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීමට හැකි වන පරිදි එම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලිය්‍යා 663 ක් ලෙස සංශෝධනය කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
07.වාණිජ අධ්‍යාපනය සඳහා ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් මධ්‍යස්ථාන කලාපිය මට්ටමින් පිහිටුවීම
වාණිජ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ගුරු භවතුන් සංවර්ධනය කිරීම, නව තාක්ෂණය හා සම්පත් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම, වෘත්තීය හා ඉදිරි අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කිරීම, සීමිත භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස උපයෝජනය කිරීම, නව තාක්ෂණය හා විෂයානුබද්ධ දැනුම බද්ධ කිරීම, අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දීමට සීමිත සම්පත් හුවමාරු කර ගැනීම සහ ප්‍රාදේශීය විභවතා අනුව කුසලතා සංවර්ධනය කිරීම යන බහු විධ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලාප මට්ටමින් ඉගෙනුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැදගත්කම් හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, රුපියල් මිලියන 289 ක මුළු ඇස්තමේන්තුගත මුදලක් යටතේ 2026 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා කාලය තුළ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රධාන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස වාණිජ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් මධ්‍යස්ථාන 100 ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය රාජ්‍ය ආයෝජන සැලැස්මට ඇතුළත් කරනු ලැබ තිබේ. ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගුරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, එම ව්‍යාපෘතියේ ආරම්භක අදියර යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස 2026 වර්ෂයේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි කලාපීය මධ්‍යස්ථාන 25ක් ආරම්භ කර ක්‍රියාත්මක කිරීමටත්, නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය මත පදනම්ව ඉතිරි කලාපීය මධ්‍යස්ථාන ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
- කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා වන උපදේශන සේවාව ලබා ගැනීම
කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම පිණිස ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා සහ විස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා අභිලාෂ කැඳවීම ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය යටතේ සිදු කරනු ලැබ ඇති අතර, ලංසුකරුවන් 08 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අතරින් කෙටි ලැයිස්තු ගත කරනු ලැබූ ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ තාක්ෂණික යෝජනා ඇගයීමෙන් අනතුරුව සුදුසුකම් ලබා ඇති ආයතන 04ක මූල්‍ය යෝජනා විවෘත කර ඇත. එකී මුල්‍ය යෝජනා ඇගයීමෙන් අනතුරුව කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම පිණිස ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව M/s. Resources Development Consultants (Pvt) Ltd වෙත රුපියල් මිලියන 356.22ක (බදු රහිත) මුළු මුදලකට ප්‍රදානය කිරීම උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන්තොටු පොළෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිම් මෙහෙවර සේවා සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම
සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් වර්තමානයේදී ගුවන් මගීන් සහ භාණ්ඩ තොග රැගත් නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම ඩුබායි ගුවන්තොටු පොළ වෙත සිදු කරනු ලබයි. ගුවන් මගින් හැසිරවීම සහ භුමි සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ඩුබායි ගුවන්තොටු පොළෙහි එකී සේවාව සපයනු ලබන එකම සමාගම වන Dnata සමාගම අතර අත්සන් කර තිබූ සම්මත බිම් මෙහෙවර සේවා ගිවිසුම 2026-03-31 දිනෙන් අවසන් වී ඇත. භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා සැපයීම සඳහා සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සහ Dnata සමාගම අතර අත්සන් කරනු ලැබ ඇති සම්මත බිම් මෙහෙවර සේවා ගිවිසුම 2026-06-30 දිනෙන් අවසන් වීමට නියමිතය. ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව පහත දැක්වෙන පරිදි අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- වසර 03 (2026-04-01 දින සිට 2029 03-31 දින දක්වා) කාල සීමාවක් සඳහා, එක්සත් අරාබි එමීර් ඩිරාම් මිලියන 04ක ඇස්තමේන්තුගත පිරිවැයකට ඩුබායි ගුවන් තොටුපොළෙහිදී සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මගින් සහ භුමි සේවා හසුරුවාලීමේ කොන්ත්‍රාත්තුව Dnath සමාගම වෙත පිරිනැමීම.
- වසර 03ක (2026-07-01 දින සිට 2029-06-30 දින දක්වා) කාල සීමාවක් සඳහා, එක්සත් අරාබි එමීර් ඩිරාම මිලියන 6ක ඇස්තමේන්තුගත පිරිවැයකට ඩුබායි ගුවන් තොටුපොළෙහි දී සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ කොන්ත්‍රාත්තුව Dnata සමාගම වෙත පිරිනැමීම.
- වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරනු ලබන ඖෂධ සහිතබෑග් 800,000 ක් සැපයීම සඳහාවන ප්‍රසම්පාදනය
දිගුකාලීන වකුගඩු අක්‍රියතාවයෙන් පෙළෙන රෝගීන්ගේ රුධිර කාන්දු කරණය සඳහා පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ භාවිත කරනු ලැබේ. එකී අයිතම ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර, ඒ සඳහා ලංසු 02ක් ලැබී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, Infuxion Lanka (Private) Limited., (Manufacturer: Peritone Health SDN BHD, Malaysia) ඒකකයක මිල රුපියල් 1,112/- ක් යටතේ සහ වෛද්‍ය සැපයීමේ අංශය වෙත ගෙනවිත් භාර දීමේ මුළු පිරිවැය රුපියල් මිලියන 889.6 ක මුදලකට, 1.5% ඩෙෆ්රෝස් සහ කැල්සියම් ඝනත්වය 1.25 mmol/L (2.5mEq/L) අඩංගු ඒකාබද්ධ අසමමිතික Y සෙට් සහ නිල් ක්ලෑමක් සමඟ ලීටර 2 පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ බෑග් 800,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද 2026 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
අංක 2312/77 හා 2023-01-01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2023 අංක 01 දරන විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි මඟින් ගුවන් යානා සඳහා භාවිත කරනු ලබන ටයර් ඇතුළුව නැවත අඩිය පුරවන ලද ටයර් ආනයනය කිරීම තහනම් කරනු ලැබ ඇත. එහෙත්, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා HS කේතය 4012.13 යටතේ වර්ගී කරණය කරන ලද නැවත අඩිය පිර වූ ගුවන්යානා ටයර් ආනයනය කිරීම සඳහා නිදහස් කිරීමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. අත්‍යවශ්‍ය මෙහෙයුම් සහ ආරක්ෂක අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, සංයෝජික වර්ගී කරණ කේත4012.13 යටතේ වර්ගී කරණය කර ඇති සහ අන්තර්ජාතිකව පිළිගත් ගුවන් සේවා බලධාරීන් විසින් නිශ්චිතව දක්වා ඇති අවශ්‍යතා වලට අනුකූල වන, නැවත අඩිය පිර වූ ගුවන් යානා ටයර් අන්තරජාතික ගුවන් සේවා සපයන ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සමාගම් විසින් එකී ගුවන් සේවා සමාගම සහ සහතික කළ අන්තර් ජාතික සැපයුම්කරු අතර නිසි පරිදි ක්‍රියාත්මක සැපයුම් ගිවිසුමක් යටතේ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිර්දේශයට යටත්ව ආනයනය කිරීම සඳහා අවසර දීමට තීරණය කර කරනු ලැබ තිබේ. ඒ අනුව, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන අනුව 2026-03-23 දිනැති අංක 2481/02 දරන අති විෂශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2026 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
- ශ්‍රී ලංකා කාර්මික පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනතක් සකස් කිරීම
රජයට අයත් වාණිජ නොවන ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුව විසින් කර්මාන්තසංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය ඒකාබද්ධ කර තනි ආයතනයක් ස්ථාපිත කිරීම නිර්දේශ කර තිබේ. එකී නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා 2025-12-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් සහ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය යටතේ නීතිමය රාමු කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එකි කෙටුම්පත මත පදනම්ව ‘ ශ්‍රී ලංකා කාර්මික පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ‘ ස්ථාපිත කිරීම සඳහා නව පනතක් කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යමණ්ඩලය විසින් අනුමතකරන ලදී.
- ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ පුර්ණ කාලීනව වැඩ බැලීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඉරාජ් චමින්ද පතිරාජ මහතා පත් කිරීම පිණිස 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ මහතා ස්ථිර පදනමින් ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- ‘ රටම එකට ‘ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන යටතේ කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා කාර්ය මණ්ඩලය බඳවා ගැනීම
මෑත කාලීනව ‘ රටම එකට ‘ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සේවාවන් වෙත යොමු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් වැඩි වන ප්‍රතිකාර සේවාවන් සම්බන්ධ ඉල්ලුම සපුරාලීම සඳහා පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් නොවන බව හඳුනා ගනු ලැබ ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා ව්‍යුහගත ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවා පුළුල් කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් පැන නැගී තිබේ. ඊට පිළියමක් ලෙස ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන පුද්ගලයන් වෙනුවෙන් කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමට සුදුසු, ඌන උපයෝජිත රාජ්‍ය ගොඩනැගිලි පරිශ්‍ර 06ක් හඳුනාගෙන ඇති අතර, එම මධ්‍යස්ථාන රජයේ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරෙමින් පවතී. ඒ අනුව, යෝජිත කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 06 ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී







