මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසයේ ඈත කෙළවරේ පිහිටි නාගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයේ පවතින උග්‍ර ජල හිගය සහ පානීය ජලය නොමැතිකම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් දරුවන් ගේ අධ්‍යාපනයත් යටිතල පහසුකම් නොමැති වීමෙන් පාසල පවත්වා ගැනීමේ හැකියාවත් මුලුමනින්ම පාහේ අවුල් වීමත් සිදුව ඇතැයි පාසල් පරිපාලනය කියයි.
විද්‍යාලයේ, එක පහ ශ්‍රේණිවල දරුවන් හැටකට ආසන්න සංඛ්‍යාවක අධ්‍යාපනය ලබන අතර මීට පෙර ගුරුවරුන් හයක් සේවය කළ ද මේ වනවිට විදුහල්පතිවරිය ඇතුළු සේවය කරන්නේ ගුරුවරුන් හතරක් පමණක් බව ද එන් එක් ගුරුවරයෙක් ලෙස විහාරස්ථානයේ හිමිනමක් ස්වේචඡාවෙන් කටයුතු කරන බව ද නාගස්තැන්න විද්‍යාලයේ විදුහල්පතිනි බී.එම්. අනුලාවතී අප පැවසුවාය.
විද්‍යාලයේ දරුවන් උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණපා තිබෙන අතර වැසිකිලි කැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නොවන බවද විදුහල්පතිවරය සඳහන් කළාය.
ඉතා දුෂ්කර පළාතක් වන නාගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයට ගුරුවරුන් පිටස්තරින් නොපැමිණෙන්නේ ඔවුන්ට අවශ්‍ය ගුරු නිවාස, වැසිකිලි පහසුකම්, විදුලි සහ අනෙකුත් මූලික පහසුකම්, ප්‍රවාහන පහසුකම් නොමැතිවීම නිසා බව ද විදුහල්පතිනිය කීවාය.
නාගස්තැන්න ගම්මානයේ වී වගා ප්‍රධාන ජීවනෝපාය කරගත් ගොවි ගම්මානයක් බව කී විදුහල්පතිනිය පෙන්වා දුන්නේ වන අලි තර්ජනයත් සමග වී අස්වනු ගෙට ගන්නා තෙක් කුසගින්න නොමැතිව ජීවත් විම සම්බන්ධව සහතිකයක් ගම්මුන්ට නැති බවය. ගුරු හිඟය පිළිබඳ අප දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයෙකු සඳහන් කළේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම ගුරු හිඟය පවතින්නේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට බවය.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නාගස්තැන්න විද්‍යාලයේ දරුවන්ගේ අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස නාගස්තැන්න ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ. මේ පිළිබඳ අදහස් දක්වන අධ්‍යාපන අමාත්‍යාශංයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මූලික පහසුකම්වත් සපුරා ගත නොහැකි වූ දුෂ්කරම පාසල් සිය ගණනක් ලංකාවේ සියලුම පළාත්වල පවතින බවය.








