පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදහන් වූ අංජන කුලතුංග (23) නැමැති සිසුවා ගේ මළ සිරුර මහවැලි ගඟේ හක්ඉඳ දූපත් සමූහය ආසන්නයේ රැඳී තිබියදී අද 21 පස්වරුවේ සොයා ගනු ලැබිණි.
පසුගිය 16 වැනිදා සිට අතුරුදන්ව සිටි මෙම සිසුවා සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
දෙමව්පියන් දින ගණනාවක් සිය පුතුට ඇමතුම් ලබාගත් අවස්ථාවේ දුරකතනයෙන් ප්‍රතිචාර නොමැති වීම නිසා ඒ පිළිබඳව නවාතැන් පොළේ හිමිකරුට දැනුම් දී තිබුණි. සිසුවා නවාතැන් ගෙන සිටි කාමරය පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී හමුවූ ලිපියක් ද කෙටි සටහනක් ද පොලීසියට බාරයේ ඇත.
යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ දෙමව්පියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ සිසුන් ගෙන් තොරතුරු වීමසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු පොලිසිය සිසුවා සෙවීම ට කණ්ඩායම් යොදා තිබිණි.
අදාළ නවාතැන් පොළේ මෙම සිසුවා තනිව නවාතැන් ගෙන සිට තිබෙන බවත් ඔහු අවස්ථා කිහිපයකදී මනෝ උපදේශක වරයෙක් ගෙන් උපදෙස් ලබාගෙන ඇති බවටත් තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ







