ලලිත් චාමින්ද –
යහපාලන රජය පැවති කාලයේ දි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමන්ට අගමැතිකම භාරගන්නා ලෙස 71 වතාවක් ආරාධනා කළබැව් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ (02) ගාල්ල නාගොඩ දී පැවසිය.
සමගි ජනබලවේගයේ හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
හෙතෙම මෙසේද කිවේය.
“ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා 71 වතාවක් මට ආරාධනා කළා අගමැතිකම භාරගන්න කියලා. ඉන් 10 වතාවක් ආරාධනා කළේ ඔක්තෝබර් මස 26ට පෙර. 61 වතාවක් ඔක්තෝබර් 26න් පසුව අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කළා. මා එජාපයේ නියෝජ්‍ය නායකයා විදියට සිටියදි රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබියදි මට පුළුවන් ද රනිල් වික්‍රමසිංහ මහත්තයට විරුද්ධව පිටුපස්සෙන් ගිහින් කිණිස්සෙන් අනින්න. මට පුළුවන්ද අගමැති වෙන්න. මම එදා ඒක ප්‍රතික්ෂේප කළා. ඒක කළේ ප්‍රතිපත්තියක් අනුව. සක්විති රජකම දෙනවා කීවත් එක කරන්න බැහැ. “
“ගෝඨාභය ජනාධිපතිතුමාත් මට කීවා අගමැතිකම භාරගන්න කියලා.“
“ගෝඨා ගෝ හෝම් කපුටා ගෝ හොම් කියලා නුවර සිට කොළඹට පාගමන් ඇවිත් මම කොහොමද අගමැතිකම භාරගන්නේ. වස්ත්‍රයක් ඇදගෙන කරන්න පුළුවන්ද?. තිබුණු වස්ත්‍රයක් ගලවගෙන කරපු අය ගැන තමුන්නාන්සේලා දන්නවා. වෙන මොනවාටවත් නෙවෙයි කප්පම් සන්තෝෂම් වලට යන කෙනෙක් යන්න. නමුත් ඒ අය ආපසු අපි සජබේ පිළිකන්නටවත් ගන්නේ නැහැ. කොහොමද අද අගමැතිකම අරන් හිටියානම්. ඇපත් නැහැ නේද?. එදා ලොකු පීඩනයක් මට ආවා. සජිත් ප්‍රේමදාස මෝඩ චුන්වෙලා තීන්දු ගන්නේ නැහැ. අප තීන්දු ගන්නේ දුර දක්නා නුවණකින්. සන්සුන් මනසකින්. අපේ ඇතුලේ හිටපු දෙන්නෙක් මාව බිත්තියටම හේත්තු කළා. මේ අයට තිබුණේ කඩිකුලප්පුව. කඩි කුලප්පුවේ තියෙන්නේ කොමිස් කුලප්පුව.“
“මට රාජපක්ෂ වන්දනාවේ යන්න බැරි නිසා තමයි අගමැතිකම භාර ගත්තේ නැත්තෙ. කිසිම දවසක පස්සා දොරෙන් එක එක අයට පිහියෙන් ඇනලා තනතුරු ගන්නේ නැහැ. පවාදීම් අපේ ජානවල ලේ නහරවල නැහැ.
සමගිජනබලවේගයේ හිනිදුම ආසනයේ සංවිධායක පියසේන ගමගේ මහතා විසින් මෙම රැස්විම සංවිධානය කරණු ලැබිය..







