වත්තල හේමාස් රෝහලේ දී සැත්කමක් කිරීමෙන් පසු රට තුළ ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය බුද්ධිකා හර්ෂණී නැමැති කාන්තවගේ සැත්කම කළ රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධනට සැත්කම් සිදුකිරීමේ තහනමක් පැනවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සැත්කමට සම්බන්ධව වෛද්‍යවරයාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලික රෝහල් නියාමන සභාවෙන් සිදුකරනු ලබන විමර්ශනය අවසන්වන තුරු ඔහුට මෙම තහනම පනවා ඇති බව වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
තවද සැත්කම සිදුකළ හේමාස් රෝහලෙන් එම දින වාකවානු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සංවර්ධන අංශය වාර්තාවක් ඉල්ලා ඇති බවත් මේ වනවිට එම වාර්තාව ලැබී ඇති බවත් පැවසේ.
ඒ අනුව මේවනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් අදාළ රෝහල සම්බන්ධව ද පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම ඉකුත් මස 01 වැනිදා වත්තල හේමාස් රෝහලේ දී විශේෂඥ වෛද්‍ය හසංජය ගුණවර්ධන විසින් ශ්‍යල්‍යකර්මයකට භාජනය කර තිබිණු අතර සැත්කමෙන් අනතුරුව දැඩිලෙස රෝගාතුර වූ ඇය රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළාය. දින 25 ක් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 25 දින ඇය මිය ගියාය.
බුද්ධිකා හර්ෂණීගේ මරණය සැකසහිත බව පවසමින් ඇයගේ සොහොයුරා වන ප්‍රසාද් ධර්මවික්‍රම වත්තල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.