එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජනීවා නුවර දී අදින් ආරම්භ වේ.
මෙම සැසිය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ද මෙවර සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවන්ට සාපේක්ෂව මෙහි ප්‍රධාන වෙනසක් ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මාධ්‍යයට තොරතුරු දක්වමින් පෙන්වා දෙයි.
අචාර්ය ප්‍රතිභා මහානාම හේවා පෙන්වා දෙන්නේ පසුගිය වර ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ 46/1 වාර්තාවට වඩා ඉදිරියට ගිය තත්ත්වයක් නව යෝජනාවෙන් නිරීක්ෂණය වන බවය. 46/1 විසින් ඉදිරිපත් කළ මානව හිමිකම් තත්ත්වයන් සාධනය කර ගැනීමට2021 සිට 2022 දක්වා වසකර කාලයක් ලබා දී ඇති අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රතිචාරය සම්බන්ධව ද කොමිසම සෑහීමකට පත් වී නැති බව ඔහු පවසයි.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් 51/5 ලෙස ගෙනෙන පිටු 16ක යෝජනාවේ අන්තර් ගතය කරුණු දෙක්ක ඔස්සේ බෙදා දැක්විය හැකි බව ආචාර්ය මහානාමහේවා පෙන්වා දෙයි.
එක් කොටසක් මානව හිමිකම් උල්ලංඝණය වීමය. අනෙක් කොටස ලෝකයේ කිසිම රටකට මෙතෙක් එල්ල වී නැති ආර්ථික අපරාධ සම්බන්ධ යෝජනාවය. ලංකාවට එරෙහිව ඉදිරිපත්වන ආර්ථික අපරාධ සම්බන්ධ යෝජනාව ලෝකයේ ප්‍රථම වරට ඉදිරිපත් වන්නක් බව අචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා විධායක ජනාධිපතිවරයාගේ බලය වැඩිකරගැනීම පදනම් කරගෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ ශ්‍රේණියේ සිට බී ශ්‍රේණිය දක්වා පහළ හෙළා තිබීමත් මේ වාර්තාවෙ බරපතල කාරණාවක් ලෙස දක්වා තිබේ.
එමෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා ත්රස්තවාදීන් නොවන පිරිස් අත්අඩංගුවට ගැනීම භාෂණයේ ප්රකාශනයේ නිදහස උල්ලංඝණය කිරීම සම්බන්ධව එහි යෝජනා ඇතුළත් වී ඇත. උද්ගත විය හැකි තත්ත්වය ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ඊට මුහුණ දෙන ආකාරය මත තීරණය වීමට නියමිතව ඇත.







