මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද මල්විල ගම්මානයට අද ( 04 ) දහවල් හිටිහැටියේ කඩා වැදුණු පනහකින් පමණ යුත් වන අලි රංචුවක් නිසා ගම්වාසීන් මෙන්ම ප්‍රදේශවාසීන් දැඩි කලබලයට සහ නොසන්සුන්තාවට පත්වූහ.
පසුව මේ පිළිබඳව මල්විල ගම්වාසීන් විසින් වැලිකන්ද වනජීවි නිලධාරින් දැනුවත් කළ ද ඔවුන් අධිකරණ කටයුත්තක් සඳහා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් ඇති බව දැනගන්නට ලැබී තිබේ.
ඉන්පසුව ඔවුන් මේ පිළිබඳව වැලිකන්ද පොලිස් ස්ථානය දැනුවත් කිරීමත් සමඟ වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක විසින් උප පොලිස් පරීක්ෂක එච්.එම්.සියාම් ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ගම්මානයට යවා වන අලි පලවා හැරීමට මැදිහත් වී ඇත.
පැයක පමණ කාලයක් මල්විල ගම්මානයේ සහ අවට සැරිසරු මෙම පනහක පමණකින් යුත් වන අලි රංචුව පලවා හැරීමට ගම්වාසීන්ගේ සහ සිවිල් ආරක්ෂක කමිටුවේද සහයෝගය ලැබිණි.
වැලිකන්ද පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරි කණ්ඩායමේ සහ මල්විල ගම්මානයේ සිවිල් ආරක්ෂක කමිටුව, ගම්වාසීන් හා තරුණයන්ගේ සහයෝගයෙන් වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මෙම වන අලි රංචුව පලවා හැර තිබේ.







