අමායා උඩුවැරැල්ල –
සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා පවතින සටන් විරාම සාකච්ඡා මධ්‍යයේ වුවද රෆා නගරය වෙත ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම වාර්තා වල දැක්වෙන පරිදි නෙතන්යාහු ඊයේ එනම් අඟහරුවාදා දින පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් දැනට මාස හතකට ආසන්න කාලයක් පුරා පවතින යුද්ධයෙන් සම්පූර්ණ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ගිවිසුමක් ඇතිව හෝ නැතිව රෆා නගරයේ ඇති හමාස් බලඇණි විනාශ කරන බවයි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමක් පිලිබඳව සහ ගාසා තීරයේ පලස්තීන කණ්ඩායම් විසින් ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින සිරකරුවන් සමග ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින පසුබිමකයි ඊයේ පැවති, ගාසා හි සන්නද්ධ කණ්ඩායම් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සමඟ තිබූ රැස්වීමකදී නෙතන්යාහු මෙලෙස තම ස්ථාවරය ප්‍රකාශ කර ඇත්තේ. නමුත් හමාස් සංවිධානය මීට පෙර පවසා තිබුනේ ස්ථිර සටන් විරාමයක් සහ ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම ඇතුළත් නොවන ගනුදෙනුවක් තමන් පිළි නොගන්නා බවයි.
නෙතන්යාහු ගේ ප්‍රකාශයත් සමග විවිධ පාර්ශව ඒ සම්බන්ධව අදහස් දක්වා තිබෙනවා. මිලියනයකට අධික පලස්තීනුවන්ට රැකවරණය ලබාදෙන රෆා නගරයට ප්‍රහාර එල්ල කලහොත් එය මහත් ව්‍යසනකාරී එකක් වනු ඇති බව ආධාර ලබාදෙන ආයතන අනතුරු අඟවා තිබෙන අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ඊයේ දින ඊශ්‍රායලයෙන්, තවත් සිවිල් වැසියන් දහස් ගණනක් මරා දමා සිය දහස් ගණනකට පලා යාමට බල කරන මිලිටරි ප්‍රහාරයක් සමඟ ඉදිරියට නොයන ලෙස ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලයේ යුද්ධයෙන් පුද්ගලයන් 34,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3 ක පමණ වන ජනගහනයෙන් ආසන්න ලෙස සියයට 80 ක් පමණ පිරිසක් තම නිවාස අතහැර දකුණු ගාසා තීරයට ගොස් සිටින අතර ප්‍රදේශය සාගතයට ඇද දමමින් නගර කිහිපයක විශාල විනාශයක් සිදු ව තිබෙනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රතිචාරයක් අද එනම් බදාදා සවස් වන විට හමාස් සංවිධානය වෙතින් බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.