අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව චෝදනා ලද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27 වන දා විභාගයට ගැනීමට එම පැමිණිල්ල අද (28) කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ දී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද දී අධිකරණයේ පෙනී සිටියේ ය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ, වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අන්තර්ගත බව කියන වීඩියෝ පටයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බවය.
ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥවරු අදාළ පෙත්සම විභාගය සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටි අතර අධිකරණය එම පැමිණිලි ජූනි මස 27 දා විභාගයට ගැනීමට දින නියම කළේය.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර හා ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු දෙදෙනෙකු විසින් එම පෙත්සම් 3 ඉදිරිපත් කර තිබේ.
ඉකුත් අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීමට මහෙස්ත්‍රාත්වරු කටයුතු කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම් තුන ඉදිරිපත් කර ඇත.
දෙරණ –







