එළඹෙන ජනාධිපතිවරණයට අදාලව ප්රචාරක කටයුතු හෙට (18) මැදියම් රැයෙන් අවසන් වීමෙන් අනතුරුව නිහඬ කාලය තුළ කිසිදු ආකාරයක ප්රචාරක කටයුත්තක් සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ මෙවැන්නකි.
” 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම් දිනය දක්වා කිසිදු ආකාරයකින් කිසිදු ප්රචාරක කටයුත්තක් කරන්න හැකියාවක් නෑ. ඒ වගේම දේශපාලන පක්ෂවලින් පිහිටුවා තිබෙන මැතිවරණ කාර්යාල සියල්ලම වෙනස් වෙනවා 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට.”
එතැන් සිට පවත්වාගෙන යා හැක්කේ මැතිවරණ කොට්ඨාසයට අදාලවන මැතිවරණ කාර්යාලය පමණයි. ඒ හැර ඡන්ද කොට්ටාසයට අදාලවන දැනට පිහිටුවා ඇති කාර්යාල 13319ම ඉවත් වෙනවා 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට.
අලුතින් පිහිටුවන්න පුලුවන් ආසන මට්ටමින් එක මැතිවරණ කාර්යාලයක්. ඒ අනුව කාර්යාල 182ක් පමණයි සියලුම අපේක්ෂකයින් වෙනුවෙන් 19 දා මධ්‍යම රාත්‍රියේ සිට පවත්වාගෙන යා හැකි වන්නේ.
ඒ වගේම අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් හැටියට පවත්වාගෙන යා හැකි වෙනවා.
ඒ වගේම විශේෂයක් තියෙන්නේ 21 වැනිදා වනවිට යම් කිසි කාර්යාලයක් පිහිටුවා තිබෙනවා නම් ඡන්ද මධ්‍යස්ථානයක සිට මීටර 500ක් ඇතුළත ඒ සියලුම කාර්යාල හෝ ඡන්ද අපේක්ෂකයාගේ නිවස කාර්යාලයක් හැටියට පවත්වාගෙන යෑමට හැකියාවක් නෑ.
මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කළේය.







