-
ඒ බොහෝ දෙනෙක් පොලිසියක සුලු පැමිණිලි අංශයකවත් ස්ථානාධිපතිකම දරා නැතිලු…
-
වදෙන් බේරෙන්න බැරිම තැන දේශපාලකයෙක් එක් පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුරට පත් කරන සේ ඉල්ලමින් නිලධාරීන් 15 දෙනෙකුට ලියුම් දීලා…
ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 225ක් සහකාර පොලිස් අධිකාරී තනතුරුවලට පත් වීමත් සමග හිස් වී ඇති පොලිස් ස්ථානාධිපති තනතුරු 100ක් සඳහා දේශපාලන වන්දනාවේ යන සුදුසුකම් නොමැති නිලධාරීන් දේශපාලකයින්ට ද කරදරයක් වී ඇති බව වාර්තා වේ.
හිසරදයක් වී ඇති මෙම තත්වය නිසා ස්ථානාධිපතිකම සඳහා පත් කර දෙන ලෙස තමන් ලඟ වැඳවැටෙන ඕනෑම පොලිස් නිලධාරියෙක් වෙනුවෙන් ලිපි නිකුත් කිරීමට දේශපාලකයින් කටයුතු කර ඇති බවත්, එක් දේශපාලකයෙක් විසින් එක් පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුර සඳහා පත් කරන ලෙස ඉල්ලමින් නිලධාරීන් 15 දෙනෙකුට ලිපි නිකුත් කර ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසිය.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 225 අතර පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් 100කට වැඩි පිරිසක් සිටියේය.
ඔවුන් නිලයෙන් උසස් වීමත් සමගම මෙම පොලිස් ස්ථානාධිපති ධූර හිස් වීමට නියමිතය. එම ස්ථානාධිපතිධූරයන්ට ලොල් වී සිටින ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් අතර දැන් ලොකුම තරගයක් ඇතිවී තිබේ.
ලියුම් 15
මේ වන විට ස්ථානාධිපති ධුර අපේක්ෂාවෙන් නිලධාරීන් දේශපාලන වන්දනාවේ යමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. එම ස්ථානාධිපතිධුරයට පත්කරන ලෙස ඉල්ලා ලියුම් නිකුත් කරන ලෙසට දේශපාලනඥයන් ළඟ ලජ්ජා සහගත ලෙස වැද වැටෙන බව පොලිස් තොරතුරු හෙළි කරයි. ඇතැම් දේශපාලනඥයන් පොලිස් නිලධාරීන්ගෙන් බේරෙන්නට බැරි තැන ලියුම් ඉල්ලා එන සෑම නිලධාරියෙකුටම ලියුම් ලබාදෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේ එකම දේශපාලනඥාගෙන් එකම පොලිස් ස්ථානයට ස්ථානාධිපති පත් කිරීම් වෙනුවෙන් නිලධාරීන් පහළොස් දෙනෙකුට ලබාදුන් ලිපි ලැබී තිබෙන බවය. දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් ලැබීම සාමාන්‍ය වූවත් මෙම ඉල්ලීම් අසාමාන්‍ය බව එම නිලධාරියා කීය.
සම්මුඛ පරීක්ෂණවලට වැඩි දෙනෙක් ඇවිත් නෑ….
ස්ථානාධිපතිධුරයන් දැරීමට කැමැත්තක් ඇති නිලධාරීන් කැඳවා පසුගිය කාලයේ සම්මුඛ පරීක්ෂණ කැඳවමින් ඒ අයගේ සුදුසුකම් පරීක්ෂා කිරීමක්ද පසුගිය කාලයේ සිදුකල බවද එම නිලධාරියා පැවසීය. ඒ සඳහා නිලධාරීන් 1000 කට ආසන්න පිරිසක් සහභාගිවූ බවත් ඒ අයගෙන් 700 ක පමණ පිරිසක් තෝරාගෙන සිටින බවත් එම නිලධාරියා පැවසීය.
දේශපාලන වන්දනාවේ යන නිලධාරීන් අතර එසේ සමුමුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිය සුදුසුකම් ඉදිරිපත් කළ නිලධාරීන් සිටින්නේ අතලොස්සක් පමණක් බවත් බහුතරයක් දෙනා ස්ථානාධිපතිධුර දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති අඩුම තරමින් පොලිස් ස්ථානයක සුළු පැමිණිලි අංශයකවවත් ස්ථානාධිපතිධුරයක් දැරූ අය නොවන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගතියක්?.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ධුරය ලැබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශභාර ස්ථානාධිපතිවරුන්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරියෙකුටයි. ඔහු සෑම පැත්තකින්ම දක්ෂයෙක් විය යුතුයි. මෙතෙක් ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙක් නිසි කලට ලැබෙන උසස්වීම්වලිනි. සහකාර පොලිස් අධිකාරී ධුරයට පවා මුලින්ම උසස් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයායි.
මෙවර 225 දෙනෙක් නිලධාරින් උසස්වීම් ලබන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 04 දෙනෙක්ම සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වරයාට උසස්වීම් ලැබී නැති බව විමතියෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් සඳහන් කරයි.
එක්සත්ජාතීන්ගේ සාමසාධක හමුදා සේවයේ අවස්ථා තුනක්ම සේවය කර ඇති භාෂා 04 ක් හැසිරවීය හැකි නීතීඥවරයක් ද වන පොලීසියේ සිටින දක්ෂ නිලධාරියෙක් ලෙස සලකන ඔහු මේ උසස්වීම් වලදී නොසලකා හැර ඇති බව වාර්තා වේ.







