හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි ලංකාවට පැමිණීම සහ ඊට අවශ්‍ය පියවර සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ඔහු සමග දුරකථන සංවාදයක් පැවැත්වීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප‍්‍රමුඛ එම පෙරමුණේ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා අතර පසුගිය දා පැවති සාකච්ඡාවේ දී ඔවුන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
බැසිල් රාජපක්ෂ සමග සාකච්චාවේ දී හිටපු ජනාධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම හා ඔහුගේ ආරක්ෂාව සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර සහ ඔහු මෙරටට පැමිණීමෙන් පසු ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.







