කුප්‍රකට කැරම් බොඩ් වංචාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත් ගමගේට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුට වසර 25ක බරපතල වැඩ ඇතිව සිරඳඩුවමක් අද (29)අධිකරණය විසින් නියම කෙරිනි.
මෙම දඬුවම් නියම කෙරෙන්නේ කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසිනි. ඒ කැරම්බෝඩ් නඩුවට අදාලව එම අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ තීන්දුව අද (29) ප්‍රකාශයට පත් කරමිනි.
මහාධිකරණ විනිසුරුවරුන්වන මහේෂ් වීරමන් ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල විනශ්ඡය මණ්ඩලය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවය.
හිටපු ඇමතිවරුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබුණේ 2014 වසරේ සැප්තැම්බර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් පුවරු 110ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේ දී රුපියල් මිලියන 53.1 වංචාවක් සිදුකිරීමට අදාලවය.
අල්ලස් කොමිසම සැකකරුවන්ට අධි චෝදනා 06ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබිණි.
තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ යේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බව සඳහන් කළාය.
මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඇති අතර, ඉන් මහ ජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නාය.
එම නිසා මෙවැනි වැරදි සිදුකිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාවරයා මෙම නඩුව ගොනු කළේ කොමිෂන් සභා පනතේ 70 වැනි වගන්තිය යටතේය. මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ පෙනී සිටි අතර නලීන් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටියේය.







