පාරිභෝගික සේවා අධිකාරිය පෙරේදා නිකුත් කළ සහල් මිල පාලන ගැසට්ටුව හේතුවෙන් එක් රැයක් තුළ නාඩු කිලෝවක මිල දිවයිනේ බොහෝ ප්‍රදේශවල රුපියල් 20 -25 අතර මිලකිනුත් සම්බා කිලෝවක මිල රුපියල් 10 – 20 දක්වා මිලකිනුත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එක් දිනක් තුළ සහල් මිල මේ තරම් ඉහළ ගොස් තිබුණු අවස්ථාවක් මෑත ඉතිහාසයේ නොවුන බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී පාරිභෝගික සේවා අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.
ඔවුන් පෙන්වා දෙන්නේ පාරිභොගික සේවා අධිකාරිය සහල් මිල පාලන ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මේ වනවිට වෙළෙඳපලේ පවතින සහල් මිල ගැන නොසලකා, නියමිත කාලයට කලින්, සහල් මෝල් හිමියන් සමග ඇතිකරගත් එකඟතාවයකින් බව එම ආරංචි මාර්ග හෙළි කළේය.
එමෙන්ම ආනයනික සහල්වලට හා රටේ ජනතාවගේ වැඩි පරිභෝජනයක් සහිත සුදු කැකුළු සහ රතු කැකුළු සහල්වලට පාලන මිලක් ලබා නොදීම හේතුවෙන් මේ මිල පාලනය නියම කිරීමත් සමග ආනයනික සහල් ව්‍යාපාරිකයන් ද අධික ලාභයක් ලැබීමේ ව්‍යාපෘතියක් අරඹා ඇතැයි දැනගන්නට ඇත.