දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ හෘද සැත්කම් කාර්යය සිදු කරන හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් 27 දෙනෙකු සදහා සේවා අවස්ථා ඇතත් එවැනි විශේෂඥවරුන් සිටින්නේ 18 දෙනකු පමණක් බවත් ඔවුන් ද වයස අවුරුද 60න් විශ්‍රාම ගැනීම සහ ඇතැම් ද්‍යෛවරුන් ශ්‍රි ලංකාවෙන් පිටවීම හේතුවෙන් ඉදිරියේදී හෘද සැත්කම් සඳහා ශල්‍ය වෛද්‍ය හිඟයක් නිර්මාණය විය හැකි බවත් වෛද්‍ය අංශ අනතුරු අඟවයි.
මේ වනවිට හෘද සැත්කම් ඇතුළු ප්‍රකිකාර සඳහා දිවයිනේ විවිධ රෝහල්වල වාට්ටු සංකීර්ණ 20 ක් විවෘත කර ඇති අතර .දැනට සිටින හෘද සහ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනා කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ස්ථාන වල සේවය කරන බවද මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාසරට පැවසීය.
2023 වර්ෂය තුළ දී මෙම විශේෂඥ වෛද්‍යවරුන් අතරින් 7 දෙනෙකු වයස 60 න් විශ්‍රාම යැවිමේ ක්‍රියාවලිය හරහා විශ්‍රාම යෑමට නියමිත අතර එක් වෛද්‍යවරයෙකු විදේශ ගත වීමට සැරසෙමින් සිටීම නිසා, මිලියන 22 මහජනයා සඳහා සේවා සැපයීම ට. ඉතිරි වන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 10 ක් වැනි සුළු සංඛ්‍යාවක් බව හෙතෙම අනාවරණය කළේය.
ඔවුන් වෙනුවෙන් ඇතිවන පුරප්පාඩු පිරවීමට සුදුස්සන් නොමැති බවත් විදේශ විශේෂඥ පුහුණුව සම්පුර්ණ කර මෙරටට පැමිණි එක් වෛද්‍යවරයකු නැවත විදේශගතව ඇති බවත් අනාවරණය කළ මෙම වෛද්‍යවරයා තවත් එවැනි පුහුණුව සම්පුර්ණ කළ දෙදෙනෙකු නැවත ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවට අනියම් ලෙස දන්වා ඇතැයිද පැවසීය.
මේ වනවිට නාමිකව පවතින හෘද රෝග වාට්ටු දෙකක් කුරුණෑගල සහ මඩකලපුව යන මහ රෝහල් වල පවතී. ඉන් කුරුණෑගල මහ රෝහලේ හෘද සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍යාගාර 2 ක් හා ඇඳන්10 කින් යුත් දැඩි සත්කාර ඒකකයක් ඇති අතර මඩකලපුව මහ රෝහලේ ද ශල්‍යාගාර 2 ක් හා ඇදන් 6 කින් යුත් දැඩි සත්කාර ඒකකයක් ඇත. අනුරාධපුර මහ රෝහලේ හෘද රෝග සඳහා ජපන් (JAICA) ආධාර යටතේ නව ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් පවතී.
මේ අතර කුරුණෑගල, අනුරාධපුර, සහ පොළොන්නරුව මහ රෝහල්වල ඇති කිරීටක ප්‍රතිකාර අංශය මගින් වෛද්‍යමය ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන ශල්‍ය වෛද්‍යවරයකුගේ සහය අවශ්‍ය වේලාවට ලබා දීමේ හැකියාව නොමැති කමින් එම රෝහල් සේවාවන් ද අඩාල වී ඇත. ඉහත සඳහන් කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් ගේ හිගය මත මෙම රෝහල් ත්‍රිත්වයේම හෘද රෝග සංකීර්ණ විවෘත කළ නොහැකි ව පවතින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
හෘද රෝග සැත්කම් සඳහා දැනට පොරොත්තු ලේඛනවල කාලය අවුරුදු 2 ක් පමණ වේ. මේ නිසා විශාල ප්‍රමාණයක් රෝගීන් මෙම කාලය තුළදී මිය යෑම නොවැලැක්විය හැකිය.
විශේෂඥ වෛද්‍යවරුන් ගේ හිඟය නිසා සිදුවන වාට්ටු සංකීර්ණ ක්‍රියාත්මක නොවීම නිසා මෙම තත්ත්වය තවත් බරපතල වනු ඇත.
ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඉහළ ම මරණ සංඛ්‍යාවට හේතුව වන්නේ හෘද රෝගයන් ය.
විශේෂඥ වෛද්‍යවරුන් වයස 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම යැවීමට ගත් හදිසි සහ අමනෝඥ තීරණය මත ඉදිරියේ දී ශ්‍රී ලංකාව හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදි ඉතා දරුණු අර්බුදයකට මුහුණ දෙනු ඇත. විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත හෝ නැවත රාජ්‍ය සේවය සදහා නොපැමිණිම හරහා මෙම තත්ත්වය තවත් බරපතල වනු නොඅනුමානය.