කීර්ති ප්‍රනාන්දු –
හබරණ, හුරුළු පාරිසරික වනෝද්‍යානයේ සෆාරි ගිය කණ්ඩායමක් රැගත් සෆාරි ජිප් රථයක් පෙරළීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් 09ක් තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.
ප්‍රතිකාර ගන්නා 09 දෙනා අතර දරුවන් 04ක් සහ කාන්තාවෝ 03ක් වෙති.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
පන්නිපිටිය සහ මාතර ප්‍රදේශවල පදිංචි පවුල් 03කින් යුත් කණ්ඩායමක් හබරණ හුරුළු පාරිසරික උද්‍යානයේ පරිසර චාරිකාවක් ගොස් තිබේ.
ඒ ගමන සඳහා ගිය රථයේ රියදුරුත් ඇතුලුව පුද්ගලයින් 12 දෙනෙක් ගමන් කර ඇත. ගමන මැද දී හමුවන අලි රංචුවක එක් අලියෙක් ප්‍රචණ්ඩ ලෙස මෙම වාහනය ඉදිරියට පැමිනෙද්දී ජිප් රථ රියදුරු වාහනය වේගයෙන් ධාවනය කිරීමට උත්සාහ කර තිබේ.
ඒ උත්සාහයේ දී රථය පෙරළී ගොස් තිබේ අද සවස 3.45ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ කොට්ටාප පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.
අනතුර සිදුව ඇත්තේ වන අලි ප්‍රහාරයකින් නොව ජිප් රථය අනපේක්ෂිතව පෙරළී යෑමෙන් බව පොලිසිය කියයි.
සිද්ධිය පිළබඳ විමර්ශන පැවැත්වේ.







