කීර්ති ප්‍රනාන්දු –
මිනුවන්ගොඩ සහ දිවුලපිටිය කොට්ඨාස දෙකේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් කිපයක ක්‍රියාත්මකවන මැර කල්ලි කීපයක් සම්බන්ධව දිගින් දිගටම පැමිණිලි වාර්තාවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මෙම මැරකල්ලි ක්‍රියාත්මක වෙමින් ඇත්තේ පොලිසිය සහ හමුදාව සිටියදී බවත් මලිත්තගම බල්ලපාන සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල, දූනගහ, මරදගමුල, දිවුලපිටිය, දෙවලපල, මිනුවන්ගොඩ සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල්වල මෙම කල්ලි ක්‍රියාත්මක වන බව පාරිභෝගිකයින් පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
ඉන්ධන ලැබෙන දින වකවානු ගැන දැන්ම්වත් වී වසා ඇති ඉන්ධන පිරවුම්හල් තුළට ඇතුළු වී සිටින මෙම පිරිස් බූලි කෑන් තබාගෙන සිටින බවත් ඉන්ධන බවුසර පැමිණි වහාම මේ කණ්ඩායම් සිය බලය යොදවමින් තමන්ගේ වාහන සඳහා උපරිම ධාරිතාවයෙන් ඉන්ධන ලබාගෙන බූලි කෑන් වලටත් පුරවාගන්නා බවත් වාර්තා වේ.
මේ පිරිස් කිසිම අවස්ථාවක ඛණිජ තෙල් නීතිගතසංස්ථාව අනුදත් නිර්නායක ක්‍රියාත්මක නොකරන බව පෙනී ගොස් ඇත.
එමෙන්ම සිය බලය යොදවා වෙනත් කණ්ඩායම් ද දින ගණන් පෝලිම්වල සිටින මිනිසුන්ට පිටින් පිරවුම්හල් තුළට ඇතුළු කරගෙන ගැටුම් ඇති වූ අවස්ථා ගැන ද කියැවේ. ආසන්නම සිදුවීම ඊයේ (17) මලිත්තගම බල්ලපාන සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හලින් වාර්තා වී ඇත.
හමුදාව සහ පොලිසිය සිටිය දී මේ මැර කණ්ඩාය ක්‍රියාත්මක වී ඇති අතර ඊට එරෙහි වූ පිරිස් හා මේ කල්ලිය අතර ගැටුම මැඩ පැවැත්වීමට පොලිසිය සහ හමුදාව ක්‍රියාත්මක වී ඇත.
මේ අකටයුත්ත ගැන විමසූ විට ඉන්ධන පිරවුම්හල් හිමියා පවසා ඇත්තේ ඉන්ධන පිරවුම්හලත්, මුදල් මෙන්ම ඉන්ධනත් තමන්ගේ බැවින් තමන් කැමති ආකාරයට ඉන්ධන බෙදන බවය. ගමේ තමන් සමග සිටින පිරිස් වෙත ඉන්ධන ලබා දුන් පසු ඉතිරි අයට ලබා දීම තමන්ගේ ප්‍රතිපත්තිය බවය.
මේ පසුබිමේදී දින දෙකක් පොලිමේ සිටි සමහරු යතුරු පැදියට ඉන්ධන ලීටර දෙක්ක ලබා ගත නොහැකිව හැරී ගොස් ඇත. මේ සම්බන්ධව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විමසූ විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙවැනි සිදුවීම් අඛණ්ඩව වාර්තා වන බව පැවසුවේය.
මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් ගම්පහ දිස්ත්‍රික් බෙදා හැරීම් කළමනාකරුගෙන් ලබා ගන්නා ලෙස පවසා ඔහු ලබා දුන් දුරකථන අංකයට අවස්ථා ගණනාවක දී ඇමතුවත් පිළිතුර නොලැබිනි.