ලලිත් චාමින්ද –
“සැමියා රෝහලේ නතර කළත් රෝහල් සේවකයින්ගේ වර්ජනය නිසා රුධිරකාන්දු පෙරණය කරගැනිමට බැරිවුනා. රුධිරකාන්දු පෙරණය කරගැනිමට හැකිවුවා නම් මහත්තයා තවදුරටත් ජිවත්කර ගැනිමට හැකි බව මගේ දැඩි විශ්වාසයයි.“
රුධිරකාන්දු පෙරණය කරගැනිම සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නතරව සිටියදි මියගිය දෙදරුපියකුගේ හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂිදෙමින් මියගිය අයගේ බිරිදවන මුදලිගේ දොන් බර්ටි කල්‍යාණි ජයවිර (53) නැමැත්තිය එසේ කිවාය.
මියගොස් ඇත්තේ පේදුරුහේවගේ රංජිත් (55) නැමති අමරකිර්තිගම, බොරකන්ද කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි මහවැලිඅධිකාරියේ සේවය කරමින් සිටි ඉඩම් නිලධාරියෙකි. මියගිය ඉඩම් නිලධාරියාගේ හදිසි මරණ පරික්ෂණය ඊයේ (09) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය.
සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂිදෙමින් මෙසේද කිවාය.
මියගොස් ඇත්තේ මගේ සැමියා. අපිට දරුවන් දෙදෙනෙකු ඉන්නවා මහත්තයාට දැනට වසර 18ක සිට දියවැඩියාව තියෙනවා. දැනට වසර එකහමාරක සිට හෘද හා අක්මා රෝගි තත්වයක් ආවා. මේ හැම රෝගයකටම ප්‍තිථිකාර ගත්තා. රෝහල්වල නතර වෙලත් හිටියා. සායනවලටත් ගියා. රෝග තිබුනත් ප්‍රතිකාර අරගෙන සාමාන්‍ය විදියට වැඩකරගෙන හිටියා.
ඉකුත් වර්ෂයේ 2021 ජනවාරි මාසයේ සිට මහත්තයාට සතියෙන් සතිය රුධිර කාන්දු පෙරණය කළා. දැනට මාස තුනක පමණ කාලයක සිට සතියට දෙවතාවක් රුධිර කාන්දු පෙරණය කළා. ඉකුත් 30 වැනිදින මහත්තයාට කරපු පි.සි.ආර්. පරික්ෂණයෙන් ඔහු පොසිට්ව් වෙලා තිබුනා. දින දෙකක් රෝහලේ ඉඳලා නිවසට ගියා. පසුව දින තුනකට පසු කරාපිටිය රෝහලට ඇවිත් රුධිරකාන්දුපෙරණය කරගෙන ගියා. ඊට පස්සේ ඉකුත් 08 වැනිදි රුධිරකාන්දු පෙරණය කිරිම සඳහා කරාපිටිය රෝහලට ආවා.
රෝහල් සේවකයින්ගේ වර්ජනය නිසා රෝහලේ නතරවෙන්න කියා උපදෙස් දුන්නා. ඒ අනුව රෝහලේ 12 වාට්ටුවේ මහත්තයා නතර කළා. මහත්තයා රෝහලේ නතර කළත් රෝහලේ සේවකයින්ගේ වර්ජනය නිසා මහත්තයාට රුධිරකාන්දු පෙරණය කරගැනිමට බැරිවුනා. එදින දහවල් හා රාත්‍රි ආහාරත් මහත්තයා අරගෙන තිබුනා. රාත්‍රි 7.30ට විතර මහත්තයා මාත් සමග දුරකථනයෙන් කථා කළා. රාත්‍රි 9.00ට විතර මහත්තයාගේ අල්ලපු ඇදේ හිටපු රෝගියා දුරකථන ඇමතුමක් ලබාදෙමින් කිවා මහත්තයා මියගියා කියලා.
මරණය ගැන සැකයක් නැහැ. නමුත් රුධිරකාන්දුපෙරණය කරගැනිමට හැකිවුවානම් මහත්තයා තවදුරටත් ජිවත්කරගැනිමට හැකි බව මගේ දැඩි විශ්වාසය කරණවා යැයිද සාක්ෂිකාරිය කිවාය.
පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි විසින් සිදුකළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍යවාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා වකුගඩු අකර්මන්‍ය විමෙන් හා දියවැඩියා රෝගි තත්වය උත්සන්න වීමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.
මොහුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවද පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.







