ක්‍රිකට් මොනතරම් විචිත්‍රවත් දැයි ඔව්හු අපට යළිත් සිහි කළහ. අත් නොහැරීමේ පෞරුෂය, සටන්කාමීත්වය මෙන්ම ජයග්‍රහණයේ පිපාසය තරගයක් මොනරම් විචිත්‍රවත් කරන්නේ දැයි අපි යළිත් අත්වින්දෙමු. එය අමතක නොවන මතකයක් බව ලියා තබමු.
ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන් විට එය හඹා ගෙන පැමිණි බංගලාදේශ කණ්ඩායම ලකුණු 03ක් පසුපසින් නවත්වාගෙ තියුණු ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත් වූයේය. මේ තරගයේ ඇත්ත නම් කණ්ඩායම් දෙකම දිනුම්ය.
ලබා ගත් ජයග්‍රහණය තුළ අපට පෙනුන විශිෂ්ටම සුබ ලකුණ නායකත්වය දරමින් කණ්ඩායම මහෙයවූ චරිත් අසලංක බව විශ්වාස කරමු. හයේ පහර හයක් සහිතව පන්දු 21ක දී ලකුණු 44ක් ලබාගෙන ශ්‍රි ලංකා ඉනිම අවසාන මොහොතේ මහා ඉහළට ඔසවා තැබුවා පමණක් නොව පිටියේ විචිත්‍ර උඩපන්දු දෙකක් රැක ගත්තේය. සියල්ලටම වඩා කැපී පෙනුනේ චරිත් පෙන්නූ නියම නායකත්ව පෞරුෂ ය.
තරගය බංගලාදේශ කණ්ඩායම වෙත හැරුණු මොහොතේ පවා කිසිම පීඩනයකින් තොරව හැසිරෙමින් විශ්වාසයෙන් යුතුව කණ්ඩායම මෙහෙයවූ ආකාරය, මතීෂ පතිරණ පන්දු යැවීමේ දී කළ ඉතිහාසගත පිස්සුව පිටිය මැද දීි ඉවසූ ආකරය, සිය සැලසුම පිටිය මැද දී කුඩු වී යන විට “පැනික්” නොවී ඒ මොහොතේ නිවැරදි තීන්දු ගනිමින් කණ්ඩායම කළමනාකරණය කළ ආකාරය මේ ජයග්‍රහණයෙන් අපට පෙනුණ වර්ණවත් ආලෝකය බව විශ්වාස කරමු.
නායකයා යනු ඇඟේ හයියට නටන ගොබ්බයෙක් නොවන බව චරිත් අසලංක පෙන්නුවේය. කරුමය මේ නායකත්ව ගුණ පූර්ණ ක්‍රීඩකයින් ගැන තේරීම් කමිටුවලට නොතේරීම ය.
එමෙන්ම අත්දැකීම් සහිත ක්‍රීඩකයින්ගේ පරිණතිය ක්‍රීඩාවට වැදගත්වන ආකාරය මැතිව්ස් මෙන්ම දසුන් ශානක පෙන්වා දුන්නේය. මැතිව්ස් වැනි ක්‍රීඩකයින් වසර ගණක් විස්සයි20 සංචිතයෙන් ද හලා රටට කළ ක්‍රිකට් අපරාධක කොතෙක්දැයි අපේ ඇස් ඉදිරියේ අපට පෙනුණේය.
තරගයේ ස්වරූපය
සිල්හෙට් අන්තරජාතික ක්‍රීඩාංගනයේ පිතිකරණයට උචිත තණ තීරුව සහ වේගවත් පිටිය විස්සයි 20 තරගයක චමත්කාරය මතුකළ හැකි අයුරින් සකස් කර තිබිණි. එහෙත් රාත්‍රී 8 පසු වී විට මුලු පිටියම පින්නෙන් තෙත් වීම මේ වනවිට පරිසරයේ ස්වභාවය ය. මෙවැනි ක්‍රීඩා පිටියක දෙවන වර පන්දුවට පහර දෙන කණ්ඩායමට ඉලක්කයක් හඹා යෑම පහසුය. හේතුව පින්නෙන් තෙතබරිතවන පන්දුව නිසා දෙවනුව පන්දු යවන කණ්ඩායමට ප්‍රතිවාදී කණ්ඩායම සමග මෙන්ම පින්න සමගත් තරග කිරීමට සිදුවන බැවිනි.
කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණඩායම පන්දු යැවීම තේරුවේ මේ කාලගුණ තත්ත්වය පිළිබඳ තක්සේරුවෙනි. ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 206ක් ලබා ගත්හ. දැවී ගියේ කඩුළු 03ක් පමණි.
විස්සයි20 තරගයක දී මොනතරම් වේගවත් පිටියක මොන ආකාරයේ තණතීරුවක වුවද ලකුණු 206ක් හඹා යෑම පහසු නැත. තරගය ශ්‍රී ලංකාවට පහසු වනු ඇතැයි සියල්ලෝ සිතූහ.
ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රි ලංකා කණ්ඩායම පසුවන්නේ 08වන තැනය. බංගලාදේශය අපට වඩා එක් ස්ථානයක් පහළිනි. බංගලාදේශය 09වන තැනය. එහෙත් මේ තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවේශ වූයේ අපේ හොඳම විස්සයි 20 තුන්ඉරියව් ක්‍රීඩකයා වූ වනිඳු මෙන්ම අපේ විශිෂ්ටම ආරම්භක පිතිකරු පැතුම් නැතිවය.
තරගය ආරම්භයේම පැතුම් නැති අඩුව හොඳටම දැනුනේය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවෙන් ලකුණු 04කට දැවී ගියේය. අනතුරුව අනෙක් අන්තයෙන් පන්දුවට පහර දීමට පැමිණි කුසල් මෙන්ඩිස් ට එක්වුනේ කමිඳු මෙන්ඩිස්ය. කමිඳු සහ කුසල් අතර ඇතිවන්නේ ලකුණු 33ක සම්බන්ධතාවක් පමණි. කමිඳු හතරවැනි ඕවරයේ 3වැනි පන්දුවේ දී ලකුණු 19කට දැවී ගියේය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 37කි. කඩුළු 02ක් දැවී ගොස්ය.
එහෙත් කුසල් මෙන්ඩිස් හා එක්වන සධීර සමරවික්‍රම තනිකරම තරගය ස්වකීය අණසකට යටත් කර ගත්හ. පන්දු 36ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලැබුවේය.
කුසල් තුන්වන කඩුල්ල ලෙස 14 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී දැවී යන විට මුළු ලකුණු සංඛයාව තිබුණේ 133ක ය. ඒ වනවිට එක් අන්තයක් රැකගෙන විචිත්‍ර පිතිකරණයක නිරතවෙමින් සිටි සධීර සමරවික්‍රමට එක්වුන නායක චරිත් අසලංක එතැන් සිට පිටිය කස පුපුරුවන පෙරහරක් බවට සිල්හෙට් ක්‍රීඩා පිටිය පත් කළේය. චරිත් පන්දු 21කට පමණක් මුහුණ දුන්නේය. ලකුණු 44කි. එක් හතරේ පහරක් නැත. හයේ පහර 06කි. නොදැවී තරගය අවසන් කළ සධීර සමරවික්‍රම පන්දු 48ක දී ලකුණු 61කි. ඔහු තරේ පහර 8කි. හයේ පහර 1 කි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දි ලකුණු 206කි. කඩුළු 03ක් පමණක් දැවී ගොස් තිබිණි.
බංගලි පන්දු යවන්නෝ අනුකම්පා විරහිත ප්‍රහාරයකට ලක් වුහ. ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 47ක් ලබා දී කඩුල්ලක් දවා ගත්තේය. ටස්කින් අහමඩ් ලකුණු 40කට කඩුල්ලක් ලැබුවේය. රිෂාඩ් හොසේන් ලකුණු 32කට කඩුල්ලක් ලැබුවේය.
බංගලාදේශ පිළිතුරු ඉනිම
බංගලාදේශ කණ්ඩායමේ ඉනිම ආරම්භ කළේ ලින්ටන් දාස් සහ සෞම්යා සකාර්ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නාගේ වගකීම ඈන්ජලෝ මැතිව්ස් වෙත පවරා තිබිණි. මැතිව්ස් ඉනිමේ පළමු පන්දු ඕවරයේ තුන්වැනි පන්දුවෙන් ලින්ටන් දාස් දවා ගත්තේය. පිත්තේ කෙළවරක වැදී ගිය පන්දුව කඩුළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පහසුවෙන් රැක ගත්තේය. දාස්ගේ ඉනිම ලකුණු නොලබා නිමා වූයේය. පළමු කඩුල්ල බිඳවැටෙන්නේ කණ්ඩායම ලකුණු නොලබා සිටි අවස්ථාවකය.
ශ්‍රි ලංකා ආරම්භක පන්දු යවන්නෝ බංගලාදේශ කණ්ඩායමට තරගයේ මුල් කාර්තුවේ දී දැඩි පීඩනයක් එල්ල කළහ. පස්වන පන්දු ඕවර අවසන්වන විට බංගලාදේශ කණඩායම ලකුනු 37ට කඩුළු 03කි. ඈන්ජලෝ මැතිව්ස් පන්දු ඕවර 3ක් යවා ලකුණු 17ට කඩුළු 2කි. බිනුර ප්‍රනාන්දු පන්දු ඕවර 2ක් යවා ලකුණු 19ට කඩුළු 02කි. ලකුනු 207ක් වැනි දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේ දි මේ පාලනය අතිශයින් කැපී පෙනුණි.
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ…
ශ්‍රි ලංකා කණ්ඩායමේ සැලසුම ගොඩනැගුන බව පෙනුණේ ඩෙත් ඕවර තුළ පාලනය මතීෂ පතිරණ වෙත පැවරීමේ වගකීම සහිතවය. ඒ වෙනුවෙන් අනෙක් පන්දු යවන්නන් කණඩායමක් ලෙස සැලකිය යුතු පරිචයකින් පන්දු යැවූහ. මතීෂ පතිරණ අතින් මෙන්ම අකිල ධනංජය අතින් පින්නෙන් පෙඟුන පන්දුව පාලනයකින් තොරව ගිලිහී ගොස් ෆුල්ටොස් පන්දු වැටෙන ආකාරයත් එම දුර්වල පන්දු හතරේ සීමාවට ඉහළින් පියඹා යන ආකාරයත් පෙනුණි. එහෙත් 207ක ඉලක්කය හඹා යෑම පාලනය සදහා සමස්ථයක් ලෙස මුල් ඕවර තුළ පන්දු යැවීමේ පාලනයක් තිබිණි.
තරගයේ 09 වැනි පන්දු ඕවරය යැවීම සඳහා කැඳවූ මතීෂ පතිරණ සිය මුල් පන්දු ඕවරය කදිමට යැව්වේය. වේගයක් තිබිණි. පාලනයක් තිබිණි. එවැනි පන්දු ඕවර හතරක් නොව, තුනක් තරගය ශ්‍රී ලංකාව වෙත පහසු ජයග්‍රහණයක් තෙක් හැරවීමට ප්‍රමාණවත් බව අපි කලාපනා කළමු. ස්ථාවර සම්බන්ධයක් ගොඩනගමින් සිටි නජ්මුල් හොස්සයින් සැන්ටො පතිරණ සිය මුල්ම ඕවරයේ 5 වැනි පන්දුවෙන් දවා ගත්තේය. පන්දු ඕවරයට ඔහු ලබා දුන්නේ ලකුණු 2ක් පමණි.
නමුත් මතීෂගේ ඊලඟ පන්දුවාර තුන කුණුහරපයක් විය. අපේ ගම්වල කොල්ලන් කුරුට්ටන් මතීෂව මුලින් හැඳින්වූයේ “කොහොදෝ යන්නේ කවුදෝ දන්නේ ” කියාය. අතින් ගිලිහුන පසු පන්දුව යන්නේ කොහෙද කියා මතීෂවත් දන්නේ නැති බව කීවේ උන්ය. උන් කීයන්නේ ඇත්තක් බව හිතුනේය. ඒ අතරම තරගය මැද මතීෂ අබාධයකට ද ලක් වුනේය. ඒ මස්පිඩු පෙරළීමකිනි.
මතීෂ යැවූ තරගයේ 11 වැනි පන්දු ඕවරයට ඔහු පන්දු 11ක් යැව්වේය. ඕවරයට නිපන්දු 2කි. වයිඩ් පන්දු 03කි. ඕවරය අවසානයේ රැස් කර තිබූ ලකුණු ගණන 20කි. 17වැනි පන්දු ඕවරය වෙනුවනේ ද මතීෂ පතිරණ පන්දු 11ක් යැව්වේ ය. ලකුණු 18ක් ලබා දුන්නේය. 19 වැනි පන්දු ඕවරයේ දි ලකුණු 15කි. ඩෙත් ඕවර සම්බන්ධව අප දුටු සිහින මතීෂ අතින් විනාශ විය.
ජකීර් අලි
මතීෂ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නට පන්දු යැවීම එපා කළ තියුණු පිතිකරණයක් බංගලාදේශ ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රිකට්වලට ආදරය කරන අප සැමෝම කුල්මත් කළේය. ඒ ජකීර් අලි නැමැති තරුණ පිතිකරුය. සිය මුල්ම විස්සයි 20 ජාත්‍යාන්තර තරගයට පිවිසි පිතිකරුය. ඒ පිතිකරණය නම් විශිෂ්ටය. ඔහු සිය මුල්ම තරගය නිමා කරන්නට තරග වැදුනේ ඉතිහාසගත හඹා යෑමකින් අනතුරුව ජයග්‍රහණයක් වාර්තා කිරීමේ පරම අභිලාෂ සහිතවය.
ජකීර් අලි පන්දු 34කට මුහුණ දුන්නේය. ලකුණු 68ක් ලැබුවේය. ඔහු අවසන් ඕවරයේ දී දැවී යන්නේ ජයග්‍රහණය බංගලාදේශය වෙත හැරවීමට අතිශය සමීප නුදුරේදී ය. 19 වැනි ඕවරයේ දෙවැනි පන්දුව වනවිට බංගලාදේශ කණ්ඩායම ලකුණු 197ට කඩුළු 7කි. ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 04ක් තුළ ලබා ගන්නට තිබුණේ ලකුණු 10කි. 207ක ඉලක්කයක් හඹා පැමිණ පන්දු පන්දු 33ක් තුළ ලකුණු 68ක් ලබා සිටි ජකීර් අලි අතිශය විශ්වාසනීය පිතිකරණය නිරතවෙමින් සිටියේය.
බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් විචිත්‍ර පිතිකරණය නිරත වී ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන පැමිණි අනෙක් පිතිකරුවා මෙහොමඩ් මහ්මදුල්ලාය. මහමදුල්ලා පන්දු 31ක් තුළ ලකුණු 54ක් ලැබුවේය.
අවසන් පන්දු ඕවරය
අවසන් පන්දු ඕවරයේ දී අසලංකගේ තීරණය කරන්නේ දසුන් ශානකට වගකීම දෙන්නයට. මෙය ඇත්තටම ඒ අවස්ථාව තක්සේරු කර ලබා ගත යුතු තීන්දුවක් විය. මැතිව්ස්ට පන්දු ඕවරයක් ඉතිරිව තිබිණි. ඔහු පන්දු ඕවර තුනක් යවා ලබා දී තිබුණේ ලකුණු 17ක් පමනි. කඩුළු 02ක් ද බිඳ දමා ය. එහෙත් පන්දු ඕවර 2ක් පමණක් යවා සිටි දසුන් ඕවරයකට ලකුණු 29ක් ලබා දී බිහිසුණු ප්‍රහාරයකට ලක් වී සිටියේය. අවසන් පන්දු ඕවරයේ දි ජයග්‍රහණය සඳහා ලබා ගත යුත්තේ ලකුණු 12කි. මේ ලකුණු 12 ආරක්ෂා කරදීමට හැකි පන්දු යවන්නා මැතිව්ස් ද, දසුන්ද යන්න ඒ මොහොත තුළ තීන්දු කළ යුතුවිය. චරිත් වගකීම දසුන්ට දුන්නේය.
දසුන්ගේ පරිණත ස්වරූපය සහ අත්දැකීම් එළියට එන්නේ පැවරුන වගකීමේ විශාල පීඩනයත් සමග බව විශ්වාස කරමු. ඔහු ඉවසිලි සහගත මෙන්ම සැලසුම් කළ මදවේග පන්දුව ජකීර් අලි ගොඩනගාගෙන සිටි සංයමය අවසන් මොහොතේ දී බිඳ දැමුවේය. දසුන්ගේ අවසන් පන්දු ඕවරයේ මුල් පන්දුවෙන් රිෂාඩ් හොසේන් දැවී ගියේය. ඒ මිඩ් ඕෆ් කලාපයේ සිට නායක චරිත් අසලංක විසින් රැකගත් විශිෂ්ට උඩපන්දුවෙනි. ජයග්‍රහණයට පන්දු 5ක් තුළ ලකුණු 12ක ඉලක්කය ලැබී තිබිණි. ඊලඟ පන්දුව වයිඩ් පන්දුවකි. අනතුරුව එක් ලකුණකට පැති මාරු විය. ජකීර් අලි දැන් පන්දුවට පහර දෙන්නාගේ අන්තයේය. පන්දු 4කට ලකුණු 10කි. පෙනෙන ලෙස තරගය මුලුමනින්ම දැන් බංගලාදේශය පැත්තේය.
එහෙත් අවසන් ඕවරයේ තුන්වන පන්දුවට පිටියෙන් ඉවතට යොමු කිරීමට ගිය ජකීර් අලි දැවී යන්නේ ලෝන් ඕෆ් කලාපයේ පන්දු රැකි චරිත් අසලංක විසින් යළිත් රැක ගන්නා විශිෂ්ට උඩ පන්දුවෙන් ජකීර් අලිගේ අමතක නොවන ඉනිම නිමා වූයේය.
ජකීර් අලි ඉවත්ව ගියත් ඒ මොහොතේත් තරගය බංගලාදේශය අතේය. පන්දු 3 කදී ලකුණු 10ක් යනු දැවැන්ත පහර දෙකකි. පන්දු යවන්නේ මදවේග පන්දු යවන්නෙකි. ඊලඟ පන්දු දෙකට හතරේ පහරක් සහ එක් ලකුණක් සහිතව ලකුණු 05ක් ලබා ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය. අවසන් පන්දුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 05කි. එක් හයේ පහරක් අවශ්‍යයය. තරග සම කිරීමට ලකුණු 04කි. එහෙත් දසුන් අවසන් පන්දුව ලකුණකට සීමා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 3ක තියුණු ජයක් ලැබුවේය.
දසුන් වැඩේ හරියටම කළේය. අප දිනුම්ය. ක්‍රිකට් ඇඟේ හයියටම කළ හැකි ක්‍රීඩාවක් නොවන බවත්, අත්දැකීම් කළමනාකරණය කරමින් සිහිබුද්ධියෙන් කළ යුතු විද්‍යාවක් බවත් අපට කියා දුන්නේය. මේ රිද්මය මේ විශ්වාසය අඛණ්ඩව පවත්වාගත හැකි නම් ඇත්තටම රටක් ලෙස අප දිනුම්ය.
ක්‍රීඩකයන් වෙනස් වී නැත. වෙනස් වී ඇත්තේ ඔවුන්ගේ මනෝ භාවය ය. තවත් එක දෙයක් අවශ්‍යයය. විනය ය. ක්‍රිකට් කියන්නේම විනය බැවිනි.
තවත් එක් දෙයක් කිව යුතුය. නායකත්වය යනු ඕනෑම පඩංගුවෙකුට දැරිය හැකි දෙයක් නොව විශේෂ ගුණයක් බවට වන අවබෝධය තේරීම් කමිටුව තුළ නොමැතිකම නම් පුදුමයකි. එවැනි ගුණය සහිත ක්‍රීඩකයින් කණ්ඩායම තුළ සිටිද්දී කට ඇරිය විට තමන්ගේ ප්‍රමාණය පෙන්වා දී රටත් දෙකේ කොළයට ඇද දමන හුඹස් ගැන රටට විවේචනයක් ඇත. බලන් ඉන්න අපට පෙනෙන දේ මේ කමිටුවල ප්‍රබුද්ධ විශේෂඥයන්ට නොතේරෙන්නේ කුමක් නිසාදැයි අපට වැටහෙන්නේ නැත.