වැලිගම ප්‍රකට සංචාරක හෝටලයක් වූ W15 හෝටලයට වෙඩි තියන්නට ගොස් වැලිගම පොලිසියෙන් වෙඩි කා මැරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ කුප්‍රකට පාතාල ගනුදෙනුව සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක වීමත් සමගම එම විමර්ශන යට ගැසීම සඳහා පොලිසිය අභ්‍යන්තරයෙන්ම විශාල කුමන්ත්‍රණයක් දියත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
සිද්ධිය සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට ගොස් විමර්ශන වළක්වා ගැනීම සඳහා මේ වනවිට කටයුුතු කරමින් ඇතැයි එම තොරතුරු අනාවරණය කරයි. කොළඹ අපරාධ කොට්ඨාසය යොදවාගෙන අනීතික මැරකම් කිරීම සම්බන්ධව චෝදනා එල්ල වුන මේ සිදුවීමට අදාලව යට ගසා තිබූ විමර්ශන යළි ආරම්භ කිරීමට තීරණය කරන්නේ පසුගිය සැප්තැම්බර් මස අගදී ය.
වැලිගම සිද්ධිය
පසුගිය වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදා වැලිගම නව ගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක් වූ W15 හෝටලයට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වෙඩි තිබ්බේය. ඉන් එක් නිලධාරියෙක් මිය ගියේය. මිය ගියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙක් වූ උපුල් චමින්ද කුමාර (46) ය.
දිවයිනේ පළාත් කීපයක පවතින W15 හෝටල් ජාලය හිමිකරුවා ඒ.ජේ.එම් මුසම්මිල් ගේ පුත්‍රයාය . වාර්තා වූ පරිදි සිද්ධිය මෙසේය.
දෙසැම්බර් 31 වැනිදා අළුයම කේ.ඩී.එච්. වෑන් රථයකින් පැමිණි පිරිසක් වැලිගම නව ගාලු පාරේ පෑලෑන වටරවුම අසල පිහිටි W15 හෝටලය තුළට ගොස් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කළහ.
එම අවස්ථාවේ දී ඊට නුදුරින් ඒ දිනවල ක්‍රියාත්මකවුන මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල යෙදෙමින් සිටි වැලිගම පොලිසියේ ජංගම පොලිස් රථය වෙඩි ප්‍රහාර එල්ල කළ කේ.ඩී.එච් රථය හඹා ගියේය. පොලිස් ජංගම රථය මාර්ගය හරස් කර වෑන් රථය නැවැත්වීමට උත්සාහ කරද්දී වෙට්ටුවක් දැමූ කේ.ඩි.එච් රථය පලා ගියේය. වැලිගම පොලිසිය ජංගම රථය හඹාගෙන ගොස් වෑන් රථයට වෙඩි තැබුවේය.
අනතුරුව වැලිගම පොලිසිය විසින් මෙම පලා යන රථය සම්බන්ධව සියලුම තොරතුරු පොලිස් ස්ථාන ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නේය.
ඒ අනුව පලා ගිය රථය ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී අධිවේගී මාර්ග ආරක්ෂක පොලිසිය විසින් නැවැත්වූයේය. නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ කළේය.
ඒ අවස්ථාවේ දී රථයේ සිටින කණ්ඩායම තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ බව දන්වා හැඳුනුම්පත් ඉදිරිපත් කළත් එතැනින් ප්‍රවේශවීමට පොලිසිය ඉඩ දුන්නේ නැත. එහෙත් ඒ අතර උසස් පොලිස් නිලධාරියෙකුගෙන් එන නියෝගයක් පරිදි මෙම පිරිස මුදා හැරීමට අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරීන්ට සිදුවූයේය.
මේ අතර වෙඩි වැදුන සැරයන්වරයා අධික රුධිර වහනය නිසා මිය ගියේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කළේය.
පසුව විමසීමේ දී මෙම කේ.ඩී.එච්. වෑන් රථයේ පැමිණ W15 හෝටලට වෙඩි තබා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් බව හෙළි වූයේය.
සිදුවූයේ කුමක්දැයි පොලිසිය ද සිටියේ වික්ෂිප්තය. එවකට සිටි පොලිස්පති දේශබන්දු තෙන්කොන් ගේ නියොගය පරිදි තොරතුරු පිටතට යෑම වළක්වා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් දරමින සිටියේය.
බරපතල සැකය
මෙම සිද්ධිය ඇති වන්නේ පොලිසියටම පාතාලයෙන් වෙන් කර පොලිසිය හඳුනා ගත නොහැකි වීමය. කොළඹ අපරාධ කොට්ඨාසයේ (සී.සී.ඩී) නිලධාරීන් වැලිගම ගොස් සිදුකළා යැයි කියන මෙහෙයුම සම්බන්ධව බරපතල පරස්පරතා රැසක් මතුවන්නේ ඒ අතරය.
සිද්ධියේ අපරාධ විද්‍යාත්මක සාක්ෂි සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ නිල ප්‍රකාශ සපුරා පරස්පර විය.
වෙඩි ප්‍රහාරයට ලක් වීමේ සිද්ධිය වනවිට වෑන් රථය තුළ 07 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගමන් කර තිබිණි. දෙදෙනෙකුට පමණක් වෙඩි වැදුනේය. ඒ වැලිගම දිසා රෝහලට විනාඩි 10ක දුරකිනි. එහෙත් වෙඩි වැදුන නිලධාරීන් පැය 2කුත් විනාඩි 20ක් යනතුරු රෝහල් ගතකිරීමට කටයුතු කර තිබුණේ නැත. පලා එන්නට කළ උත්සාහය පමණක් ප්‍රමුඛ වූ බව සහතික වන්නේ වෙඩි වැදුන නිලධාරීන් සුවසැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට යොමු කරන්නේ ඉමදූව අධිවේගී පිවිසුමේ සේවය කළ නිලධාරින් බව හෙළි විය.
කෙසේ වෙතත් මේ කුප්‍රකට සිද්ධිය සම්බන්ධව විමර්ශන මගහැරුනේය.







