ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී සීනි සඳහා පනවා තිබු විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කිරිමෙන් කෝටි 6200ක පමණ අයථා ලාභයක් ලද බවට චෝදනා එල්ල වූ පිරමිඩ් විල්මාර් නම් සමාගම ශ්‍රි ලංකාවේ රැකියා කරන්නකුට හොඳම ස්ථානයක් බවට සම්මානයක් හිමිව තිබේ.
ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම මිතුරකු බව කියන සජාන් මවුසූන් ට අයත් මෙම සමගම ග්‍රේට් ප්ලේස් ටු වර්ක් (Great Place to Work) නම් ආයතනය විසින් සමාගම්වල සේවක සේවිකාවන් සම්බන්ධයෙන් කරන ලද ඇගයීම් පදනම් කරගෙන මෙම සම්මානය පිරිනමා ඇත.
මෙම ඇගයීම සිදු කළ ග්‍රේට් ප්ලේස් ටු වර්ක් ආයතනය පවසන්නේ පන්සියයක් ව පමණ වන එම සමාගමේ සේවක සේවිකාවන්ගෙන් සියයට 96ක් පමණ පිරමිඩ් විල්මාර් ආයතනය රැකියාව කිරීම සඳහා හොඳම ස්ථානය ලෙස නම් කර ඇති බවය.
සීනි, මාගරින් සහ ආහාර පිසීමේ තෙල් සෝයා ඇතුළු ආහාර වර්ග රැසක් ආනයන කරන පිරමිඩ් විල්මාර් සමාගම අපකීර්තියට පත් වූයේ රුපියල් 50ක්ව පැවති සීනි සඳහා වූ විශේෂ ආනයනික බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමේ රජයේ තීරණයෙන් පසු එක් දිනක් තුළ පමණක් රුපියල් කෝටි 37.8ක ලාභයක් ඇතුළු රුපියල් කෝටි 6225කට අධික ලාභයක් ලද ආයතනය ලෙස සඳහන් වීමෙනි.
ඒ වනවිට මෙරටට ආනයනය කොට තිබු සීනි මෙට්‍රික්ටොන් 2,77,715 ක් ඇතුළත් සීනි තොගයෙන් සියයට 45ක් පමණ ආනයනය කොට තිබුණේ රජයේ ආශිර්වාදය ලබන හිතවතා යයි සඳහන් වන සජාන් මවුසුන් ට අයත් පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම ය.
එම සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන් 1,25,207ක් ආනයනය කොට තිබුණි. බදු අඩුකළ කාලය තුළ සජාන් මවුසුන් ගේ විල්මා පුද්ගලික සමාගමේ සීනි ආනයනය සියයට 1222කින් වැඩිවි ඇති බව විගණන වාර්තාවින් හෙළි වූ අතර දුඹුරු සීනිවලට පාලන මිලක් නොවූ බැවින් මෙම බදු සහනය හරහා ගෙන්වූ දුඹුරු සීනිවලින් විශාල ලාබයක් ලද බවට චෝදනා එල්ල විය.







