ඊයේ අනතුරකට ලක් වුණු සාම සාධක රාජකාරිවල නිරතව සිටිය දි අනතුරකට ලක් වුණු එම්.අයි. 17 ගුවන් යානයේ ගුවන් නියමුවා ඇතුළු 05 දෙනාම ආරක්ෂිත බවත්, මේ වනවිට සමහර මාධ්‍ය ධාරා ඔස්සේ ප්‍රචාරය වන ආකාරයට ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායමකගේ ග්‍රහණයේ නොමැති බවත්, ගුවන් හමුදාව පවසයි.
මෙම වාර්තා ප්‍රචාරය වන්නේ සිද්ධි දෙකක් පටලා ගැනීමෙන් බව පැහැදිලි කරන ගුවන් හමුදාව සෝමාලියාවේ ලෝක ආහාර සංවිධානයේ මෙහෙයුම්වල සම්බන්ධ වී සිටි ගුවන් යානයක් මීට දින දෙකකට පෙර සිදුවූ අනතුරත්, ඊයේ සිදුවූ අනතුරත් සිද්ධි දෙකක් බව කියයි.
මේ වනවිට ශ්‍රී ලංකා හමුදාව සෝමාලියාවේ සාම සාධක හමුදා රාජකාරියේ යොදවා නොමැති බව ගුවන් හමුදාව තහවුරු කරයි.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරියේ නිරතව ඇති ගුවන් හමුදා එම්.අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා තුනෙන් එක් යානාවක් බ්‍රියා නගරයට ගුවන් සැතපුමු 140ක් ඊසානන දෙසට වන්නට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුමට අදාල භාණ්ඩ ප්‍රවාහනය කරන මෙහෙයුමක දී ඊයේ (12) උදෑසන 9.30ට පමණ අනතුරට පත් වී තිබිණි.
අධික දූවිලි සහිත අයහපත් තත්ත්වක් තුළ එම එම්.අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානය ගොඩබෑමේ දී මෙම අනතුරු සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිදරව් වූයේය.
මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනා හට කිසිම අනතුරක් සිදුවී නැති බවත් ඔවුන් සුරක්ෂිතව සිටින බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ නිවේදනය කළේය.
මෙම අනතුර සිදුවූ වහාම එයාර් මාෂල් උදේනි රාජපක්ෂ විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරියේ නියුතු නිලධාරීන්ගෙන් සමන්විත සමීක්ෂණ මණ්ඩලයක් එම්.අයි.17 ගුවන් යානය සමග එම ස්ථානය වෙත යොමු කර තිබිණි.
ගුවන් හමුදා මුලස්ථානයෙන් විශේෂ පරීක්ෂණයක් සඳහා නම් කළ මණ්ඩලයක් ද පත් කර තිබේ.
.







