ජාතිය සුරැකීමට සහය දක්වන්නේ නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසට ඔවුන්ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය යළි ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගය අද (16) නිවේදනය කළේය.
මෙම ප්‍රතික්ෂේප කිරීම SJB මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ එම පක්ෂයේ ප්රචාරක කළමනාකරු සුජීව සේනසිංහ විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා සිදුකරනු ලැබීය.
“ජාතිය ආරක්ෂා කිරීමට සහාය දෙනවා නම් අපේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය යළි පිහිටුවන්න ජනාධිපතිතුමා ඉදිරිපත් වෙලා තියෙනවා. කෙසේ වෙතත්, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර රෝහිත අබේගුණවර්ධන වැනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් සමඟ වේදිකාවේ සිටීමට අපට අවශ්‍ය නෑ… ඒ නිසා මෙම යෝජනාව පිළිගැනීමට අපි සූදානම් නෑ, ”මරිකාර් මන්ත්‍රීවරයා කීවේය.
“ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කළ පරිදි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පහළොවක හෝ විස්සකගේ සහය ලබා ගැනීමට නොහැකි තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුද යන්න පිළිබඳව ජනාධිපතිවරයා උභතෝකෝටිකයක සිටින බව තමයි අපට දැනෙන්නේ. කොහොම වුණත් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එක තමයි අපේ ප්‍රාර්ථනාව. ඒක අපට වාසිදායක නිසා අපි ඒකට කැමැතියි.” මරික්කාර් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීවේය.
ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි දිවංගත එජාප නායකයන්ගේ සංවර්ධන විලාසය නැවත වරක් එකෙළි කරන්නේ සමගි ජන බලවේගය බව සුජීව සේනසිංහ පැවසුවේය.







