දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේදී පැවැත්වූ අවස්ථාවේ මෙවර ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන අපේක්ෂකයා තීරණය කිරීම අපහසු වූ බව එම පක්ෂයේ මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඊයේ ( 11 ) පැවසීය.
මෙම මධ්‍යම කාරක සභා රැස්වීම දෙමළ ජාතික සන්ධානයේ වවුනියාව දිස්ත්‍රික් කාර්යාලයේදි පැවැත්වුණි.
බහුතරයකගේ මතය මේ අවස්ථාවේ දී ඉතා උචිතම ක්‍රියාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයදීම බවට සාකච්ඡා වූවත් නැගෙනහිර පළාත නියෝජනය කරමින් පැමිණ සිටි මන්ත්‍රීවරු කීප දෙනෙකුම දෙමළ පොදු අපේක්ෂකයාට සහය දීම වැදගත් බව ප්‍රකාශ කිරීම නිසා මධ්‍යම කාරක සභා රැස්වීම තුළ විශාල ගාලගෝට්ට්ටියක් ඇති වී තිබේ.
පැය ගණනාවක් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවතුණද මෙවර ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වී නොමැත.
කෙසේ වෙතත් මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී මන්ත්‍රීවරු අතර දැඩි වචන හුවමාරුවීම් සිදුව ඇති අතර අවස්ථා කීපයකදීම් නොසරුප් වචන පවා භාවිත වී තිබේ.
රැස්වීම හමාරවීමෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දැක් වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයක් ඔස්සේ බලය බෙදා හැරීමට එකඟ වන ජනාධිපති අපේක්ෂකයෙකුට දෙමළ ජාතික සන්ධානයේ සහය හිමිවන බවයි.
දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළි දැක්වීමෙන් පසුව ඒ ඒ අපේක්ෂකයා සමග තම පක්ෂය කරුණු සාකච්ඡා කරණ බවත් ඉන් අනතුරුව සහය දක්වන්නේ කාහට දැයි යන තීරණයට එළඹෙන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.
දෙමළ ජාතික සන්ධානය මේ රටේ දෙමළ ජනයාගේ බලාපොරොත්තු ඉටුකරන විශාලතම දෙමළ දේශපාලන පක්ෂය නිසා තම පක්ෂයට වගකීමකින් තොර තීරණ ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ සුමන්තිරන් මන්ත්‍රීවරයා පක්ෂය විසින් ගනු ලබන තීන්දු තීරණ මේ රටේ දකුණේ සිටින සිංහල ජනතාවටද ඉදිරිපත් කිරිමට පක්ෂය පියවර ගන්නා බව කියා සිටියේය.
ජනාධිපතිවරණය සදහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ දෙමළ ජාතික සන්ධානයේ අනුමැතියකින් හෝ පක්ෂයේ දැණුවත් භාවයකින් තොරව නිසා පක්ෂයේ ස්ථාවරය දෙමළ පොදු අපේක්ෂකයා වෙත පැහැදිලි කිරීමට තීරණය කොට අතැයිද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.







