අධිකරණය මගින් ලබා දී තිබෙන වාරණයක් හේතුවෙන් පසුගිය වසරේ දී පෙරහර ට සම්බන්ධ කරගත් අලි ඇතුන් 16 දෙනෙකු ගේ සේවය මෙවර මහනුවර ඇසළ පෙරහරට ලබා ගැනීමට නොහැකි වී තිබෙන්නේ යැයි බස්නායක නිළමේවරුන් ගේ සංගමයේ සභාපති, මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර පවසයි.
පත්තිනි දේවාල නියෝජනය කරමින් පළමු කුඹල් පෙරහරේ ගමන් කළේ අලි පස් දෙනෙකු පමණක් බවත් පෙරහරට ගෙන එන ලද එක් අලියෙකු මේ වනවිට මද කිපී සිටින බවත් ඔහු පවසයි.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසරේ දී පින්නවලින් අලි සිව් දෙනෙකු පෙරහරට ලබාදුන් නමුත් හස්ති පාලකයින් නොමැති නිසා මෙවර එම අලි ඇතුන් ලබා දීමට හැකියාවක් නොමැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙන බවත් මේ හේතුවෙන් සිව් මහා දේවාල බස්නායක නිළමේවරු බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින බවත් බස්නායක නිළමේවරයා කීවේය.
වෙනත් වසර වල සතර මහා දේවාල නියෝජනය කරමින් අලි ඇතුන් පනහකට ආසන්න පිරිසක් ගමන් කරන නමුත් මෙවර එය 22 කට පමණ සීමා වී ඇතැයි ද රජය වහා මැදිහත්ව මේ සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් නොගතහොත් අනාගතයේ දී පෙරහර කිරීමට සිදුවන්නේ අලි ඇතුන් නොමැතිව යැයි ද ඔහු පැවසුවේය.
සාමාන්‍යයෙන් පෙරහර මංගල්‍යය සඳහා විෂ්ණු දේවාලයට අලි ඇතුන් 15 දෙනෙකු අවශ්‍යය වුවත් මෙවර මේ වනවිට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ අලි ඇතුන් 09 දෙනෙකු පමණක් යැයි එම දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ පවසයි.
නාථ දේවාල බස්නායක නිළමේ එස්.බණ්ඩාරනායක පැවසුවේ නාථ දේවාලයේ දේවාභරණ වැඩම කරවීමට සිටි මුතුරාජා ඇති මියගිය පසු දැන් දේවාභරණ අලියෙකු මතින් වැඩම කරවීමට සිදුව තිබෙන බවයි.
හීලෑ අලි හිඟය සම්බන්ධව පෙරහර සංදේශය මගින් සෑම වසරකම ජනපතිවරයා ට දැනුම් දීමක් කරන නමුත් ප්‍රශ්නයට මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බව ද ඔහු පැවසුවේය.
බස්නායක නිලමේවරයෙකු ලෙස තමන් කටයුතු කර තිබෙන කාලය තුළ ජනාධිපතිවරු පස් දෙනකුට මෙම දැනුම් දීම පෙරහර සංදේශය මගින් දියවඩන නිලමේවරයා සිදුකර තිබෙන බවද ඔහු පැවසුවේය.
රත්නපුර මහ සමන් දේවාල පෙරහර මහනුවර ඇසළ මංගල්‍යය එකම දින වකවානු වල යෙදීම නිසා රටේ දැනට සිටින අනූවක් පමණ වන හීලෑ අලි ඇතුන් පෙරහර දෙකට බෙදී ගොස් තිබෙන බවත් මේ නිසා මහනුවර සතර මහා දේවාල වලට ප්‍රමාණවත් තරම් අලි ඇතුන් නොමැතිව පෙරහර කරන්නට සිදුව තිබෙන බවත් මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ පැවසුවේය.
පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කිරීමට අවශ්‍යය පහසුකම් ලබාදීම රජයේ වගකීම බවත් එදා රජ දවස පටන් එම කාර්යය සිදුව තිබෙන බවත් කී ඒ මහතා මෙම ගැටලුව පිළිබඳව වහා රජයේ අවධානය යොමු විය යුතු යැයි ද ප්‍රකාශ කළේය.







