දිනසේන රතුගමගේ –
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවීම ඇතුලු උතුරේ සැබෑ ප්රශ්න ගණනාවකට වත්මන් රජයෙන් විසදුම් නොලැබෙන මොහොතක දෙමළ දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික සමළුවට සහභාගී වීම වර්ජනය කළ යුතු බව කියමින් උතුරේ ස්වේච්ඡා සංවිධාන ගණනාවක්ම දෙමළ දේශපාලන පක්ෂ වලට බලපෑම් කොට ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුලුව දෙමළ ජනතා සන්ධානය හා ටෙලෝ සංවිධානය විසින් වර්ජනය කරන බවට 21 දා නිවේදන නිකුත් කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානය හා සම්බන්ධ ටෙලෝ සංවිධානය දෙදිනකට පෙර කීවේ ප්රභාකරන් සහ සභාරත්නම් අමතක කර සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවන බවය. එහෙත් ඔවුන් මේ වනවිට තමන් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බවට නිවේදනය කර ඇත.
දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේස්වරන් මන්ත්රීවරයා සඳහන් කරන්නේ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කොට මේ රටේ ජනවාර්ගික ප්රශ්නයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිවරයාට කිසිදු උවමනාවක් නොමැති පරිසරයක් තුළ තව දුරටත් සර්ව පාක්ෂික සමළු වලට සහභාගී වීමෙන් පලක් නොමැති බවය.
මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත සවිස්තරාත්මක ලිපියක් යැවූ බවද විශේෂයෙන් මේ දිනවල රටේ පවත්නා ආර්ථික අර්බූදය පිළිබඳව එම ලිපියේ තොරතුරු සඳහන් කළ බවද විග්නේස්වරන් මන්ත්රීවරයා ප්රකාශ කරයි.
ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්රීවරයා ප්රකාශ කරන්නේ දෙමළ ජනතාව සමග ජනාධිපතිවරයා කිසිදු සංහිදියාවක් නොපවත්වන නිසාත් උතුරු නැගෙනහිර අර්බූදය විසඳාලීමට ඔහු කිසිදු ක්රියාමාර්ගයක් නොගන්නා නිසාත් ටෙලෝ සංවිධානය සර්ව පාක්ෂික සමළුව වර්ජනය කරණ බවයි.