සරම්ප රෝග ව්‍යාප්තිය සම්බන්ධව දත්ත වාර්තාවීමත් සමග රටේ දරුවන් ඉලක්ක කරගනිමින් අතිරේක සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් අද (06) දිස්ක්‍රික්ක 9ක සායන 1,600කදී පැවැත්වෙමින් ඇත.
අතිරේක එන්නත් මාත්‍රාවා ලබා දීමේ පළමු අදියර යටතේ සරම්ප රෝගීන් වැඩියෙන් වාර්තා වූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඇතුළු ඉහළ ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්ක නවයක, වයස මාස 6 සිට අවුරුදු 15 දක්වා කුඩා දරුවන්ට අතිරේක මාත්‍රාවක් ලෙස මෙම එන්නත ලබා දෙනු ඇත.
කෙසේ වෙතත් සරම්ප සඳහා එන්නත් මාත්‍රාවක් මෙතෙක් ලබා නොගත් දරුවන් සඳහා ද මෙම සායනවලින් එන්නත් ලබා ගත හැකි බවත් සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල කියයි.
සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ තුන්වැනි සිතියේ නැවත වරක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.
“මෙම එන්නත් මාත්‍රාව ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම, මුදල්, ලැබිලා තියනවා. දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂතුමියට මා පෞද්ගලිකවම ලිපියක් මගින් ඉල්ලීමක් කළා මේ ගැන. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපාදන ලබා දීම වගේම අපිට විශේෂඥයෙක් එව්වා. දකුණු ආසියානු කලාපීය ප්‍රතිශක්ති සහ එන්නත් කළමනාකරණය සම්බන්ධව ඉන්න සම්බන්ධීකාරක තුමා එක් දිනයක් ඇතුළත අප වෙත යොමු කළා තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය දෙන්න. ඒ වගේම දකුණු ආසියානු කලාපයේම ඉන්න විද්වතුන් සහයෝගය දුන්නා මේ සම්බන්ධව. ලංකාව තුළ යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරුන් දෙදෙනාමත් විශේෂ සහයෝගයක් ලබා දුන්නා.” සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල කීවේය.









