දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මී ළග නායකත්වය සඳහා එම පක්ෂය අයදුම්පත් කැඳවීමත් සමගම එම්.ඒ.සුමන්තිරන් හා එස්.ශ්‍රී ධරන් යන මන්ත්‍රීවරු දෙදෙනා ඒ සදහා 3 දා ඉල්ලුම් පත් බාර දී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රී වරයා ලබන වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් නිසා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මී ළග නායකත්වයට අයදුම් පත් කැදවා තිබේ.
එක් අයදුම් පතක් පක්ෂයේ නිත්‍ය සාමාජිකයින් 6 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවකගේ අනුමැතියෙන් හා යෝජනා ස්ථිරත්වයෙන් යුතුව ඉදිරිපත් කළ යුතු බවට පක්ෂයේ ලේකම් පී. සත්‍යලිංගම් විසින් නිවේදනය කොට තිබේ.
ඒ අනුව සුන්මන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අයදුම්පතට නිත්‍ය සාමජිකයින් 12 දෙනෙකුගේ නිර්දේශ අනුමැතිය හා යෝජනා ස්ථිරත්වය ලැබී ඇති අතර ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාට නිත්‍ය සාමාජිකයින් 6 කුගේ අනුමැතිය ලබා දී තිබේ.
අයදුම්පත් ඉදිරිපත්කොට ඇති මන්ත්‍රිවරුන් දෙදෙනාගෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා කොළඹ ප්‍රදේශයෙන් උතුරට පැමිණි අයෙකු වන අතර එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කිළිනොච්චියේ ඉපිද ඒ පළාතේම ජීවත් වන අයෙකි.
මේ නිසා සුමන්තිරන් මන්ත්‍රීවරයාට වඩා වැඩි වාසියක් ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහා නව නායකයෙකු පත් වීමෙන් පසුව සමස්ත දෙමළ ජාතික සන්ධානයේ නායකයා කවුරුන්දැයි යන්න පසුව තීරණය කරනු ලබයි.
කෙසේ වෙතත් එලඹෙන ජනවාරී මාසයේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේදී රැස්වීමට නියමිත අතර එම රැස්වීමේදී පක්ෂයේ නව නායකයා තෝරා ගැනීමටද නියමිතව ඇත.