කීර්ති ප්‍රනාන්දු –
මෙම සිංහල අවුරුද්දේ රතිඤ්ඤා ඇතුළු ගිනි කෙළි ද්‍රව්‍ය ඉහළ මට්ටමේ අලෙවියක් වාර්තා කර ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පවසයි.
අනෙක් සෑම පාරිභෝගික භාණ්ඩයකම පාහේ අලෙවිය සාපේක්ෂව අඩු බව වාර්තා වෙද්දී රතිඤ්ඤා අලෙවිය මේ ආකාරයෙන් වර්ධනයක් පෙන්වනු ඇතැයි නිශ්පාදකයන් ද බලාපොරොත්තු නොවූ බව ඔහු කියයි.
පහුගිය සිංහල අවුරුද්දට සහ නත්තලට සාපේක්ෂව 2024 සිංහල අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය වැඩිවී ඇත්තේ අලෙවි කරගත නොහැකි වීම නිසා ගබඩාවල එකතු වී තිබුණු පසුගිය වසර දෙක තුළ සිදුකළ නිශ්පාදන අඩු මිලට නිකුත් කිරීමත් පොටෑසියම් නයිට්‍රේට් සහ ඇලුමිනියම් කුඩු මිල අඩුවිම නිසා මෙවර නිශ්පාදන පිරිවැය අඩුවීමත් හේතුවෙන් බව සභාපතිවරයා පැවසුවේය.
“වෙනදා වගේ සිංහල අවුරුදු කාලයට රතිඤ්ඤා අලෙවි නොවනු ඇතැයි කියන උපකල්පනය මත රතිඤ්ඤා අඩුමිලට වැඩි වශයෙන් නිකුත් වුනා. ඒ නිසා බලාපොරොත්තු නොවුන තරම් හොඳ අලෙවියක් වාර්තා වුනා. එහෙත් අපි අඩු මිලට රතිඤ්ඤා වෙළෙඳපලට නිකුත් කළත් වෙළෙන්දන් ඒවා අලෙවි කරන්නෙ පහුගිය අවුරුදුවල මිලට කියලා දැනගන්න ලැබෙනවා. “ ඔහු පැවසුවේය.