විවිධ රටවල සිට සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් කිසිදු ලියාපදිංචියක් හෝ බලපත්‍රයක් නොමැතිව විවිධ ව්‍යාපාරයන්හි නිරත වන බවත්, මේ සම්බන්ධයෙන් වහා ම පියවර ගන්නා ලෙසත්, අමාත්‍ය මනුෂ නානායක්කාර ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී උපදෙස් ලබාදුන්නේය.
මෙම පිරිස විවිධ භාණ්ඩ අලෙවි කිරීමේ සිට කුඩු විකිණීම දක්වා විවිධ ව්‍යාපාරයන්හි නිරත වන බවත්, සිය රටේ මුදල් ඒකකවලින් ම රැගෙනවිත් ආපසු රැගෙන යන බවත්, එමගින් මෙරට ආර්ථිකයට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවත්, පොලීසියට පැමිණිලි කළ ද ක්‍රියාමාර්ග ගැනීමට නියෝග නොමැති බැවින් පොලීසිය ද නිරුත්තර වන බවත් මේ නිසා ගාල්ල ඇතුළු දේශීය සංචාරක කලාප වල ව්‍යාපාරයන්හි නිරත වන්නන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා පැවැති ගාල්ල දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස ද පවසන ලදි.
“ඇතැම් රටවල සංචාරකයන් මේ රටට ඇවිල්ලා විවිධ ව්‍යාපාර කරනවා. බඩු විකිණිමේ සිට කුඩු විකිණිම දක්වා ම ව්‍යාපාර කරනවා. මේ සියල්ල සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්රයේ අය විවිධ පැමිණිලි කළත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කිසිදු ලියාපදිංචියක් හෝ ව්‍යාපාරයක් සඳහා බලපත්‍රයක් රහිත ව ඔවුන් ව්‍යාපාරයන්හි නිරත වෙනවා. “
“සංචාරක වීසා මත මේ අයට ලංකාවේ කිසිදු ව්‍යාපාරයක නිරත වීමට අයිතියක් නෑ. මුදල් හුවමාරුවත් මේ අය ම කරනවා. මේ සම්බන්ධයෙන් අදාළ අංශයන්ගේ අවධානයට යොමු කරවන්න. මේ කරුණුවලට අදාළව ලැබෙන පැමිණිලිවලට ක්‍රියාත්මක වීමේ බලය සහිත නියෝගයක් නිකුත් කළ හැකි නම් වඩා සුදුසුයි.“
“මේ ගැන පැමිණිලි කළා ම සමහර විට පොලීසියත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරුත්තර වෙනවා. මෙවන් පැමිණිලි සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න සඳහන් නියෝගයක් දිය හැකි නම් පහසුවක්. මොකද මේ ව්‍යාපාර හරහා අපේ රටට කිසිදු ආදායමක් ලැබෙන්නේ නෑ. සමහරවිට දේශීය අයත් සම්බන්ධ කරගෙන ඉන්නවා. මේ ව්‍යාපාර සඳහා ඒ ඒ රටවල මුදල් ම රැගෙන ඇවිත් ඒ මුදලින් ම ආපසු ගෙනයනවා. ඔවුන් මෙහේ කළ හැකි සියලු ව්‍යාපාර කරනවා. පොලීසියට නියෝගයක් දිය හැකි නම් ඉතා වටිනවා.“







