ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTA) සභාපති කිමාලි ප්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙකුට කොළඹ දිසා අධිකරණය සිතාසි හා චෝදනා පත්‍ර නිකුත් කර තිබේ.
ඒ ලංකා රියල්ටි ලෙෂර් ලිමිටඩ් (LRL) විසින් ඉදිරිපත් කරන ලද ගොනු කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
සෙසු වගඋත්තරකරුවන් වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනෝමා නන්දනී ය.
යාල සංචාරක කලාපයේ ඉඩමක් සම්බන්ධයෙන් 2020 ජුනි 15 වන දින ලංකා රියල්ටි ලෙෂර් ලිමිටඩ් විසින් මූලික ක්‍රියාමාර්ගය ආරම්භ කරන ලදී.
එම ඉඩම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වසර 99 ක කාලයක් සඳහා ලංකා රියල්ටි ලෙෂර් ලිමිටඩ් වෙත බදු දී තිබී ඇත.
කෙසේ වෙතත්, ඉන් පසුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකපාර්ශවිකව බදු අවලංගු කිරීමක් සිදු කර ඇත.
මේ අනුව එම අවලංගු කිරීම තහනමට ලක්කරන්නැයි ඉල්ලමින් එල්ආර්එල් විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීය.
අනතුරුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද අතර, බදු ඔප්පු අවලංගු කිරීම ඇතුළු ඇතැම් ලියකියවිලි සම්බන්ධය එම අධිකාරිය ක්‍රියා කිරීම එමගින් වළක්වාලීය.
නඩු කටයුතු අවසන් වනතෙක් එම අතුරු තහනම බලපැවැත්වේ.
කෙසේවෙතත් එල්ආර්එල් විසින් කළ පැමිණිල්ලට අනුව ස්ථාවර නියෝගයක් ක්‍රියාත්මක වෙමින් පැවතියත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් යාල ඉඩම තෙවන පාර්ශවයකට බදු දීමට කටයුතු කර ඇති අතර, එල්ආර්එල් සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ දිසා අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය එම අධිකාරිය විසින් සෘජුවම උල්ලංඝනය කර ඇති බවත් එමගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවත් ය.







