මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂවරයා සහ පුද්ගලික පන්ති පවත්වන පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මගින් කළ විමර්ශනයකින් අනතුරුව අත් අඩංගුවට ගනු ලැබුවේය.
පසුගිය 2024 සැප්තැම්බර් මස 15 වන දින පවත්වන ලද 05 වසර ශිෂ්‍යත්වය විභාගයට අදාල ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ වීමට පෙර පිටවීමට අදාලව ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු 2024.09.19 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබිණි. පොලිසිය එයට අදාල විමර්ශන කටයුතු එදිනම ආරම්භ කළේය.
ඒ අනුව මේ පිළිබඳ විමර්ශන සිදු කර 2024.09.22 වන දින කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 58 ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පුද්ගලයා විය.
එසේම ඔහු 05 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සැකසීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරතිබුණු බව ද පොලිසිය අනාවරණය කරගත්තේය.
එමෙන්ම 2024.09.24 වන දින අලව්ව තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන සැකකරුවෙකු අත්අඩංගුව ගත් අතර ඔහු රජයේ පාසලක ගුරුවරයෙකු සේම උපකාරක පන්ති පවත්වනු ලබන ගුරුවරයෙකු ද විය.
මෙහි පළමු සැකකරු විසින් 05 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සැකසීමට ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න 07 ක් මෙහි දෙවන සැකකරු වෙත ලබා දී තිබුණු බව විමර්ශනවලදී හෙළි විය.
පළමු සැකකරු ලබා දුන් ප්‍රශන් 07 න් ප්‍රශ්න 03ක් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 05,13 හා 27 ලෙස ඇතුළත්ව තිබූ බවත්, උපකාරක පන්ති පවත්වන දෙවන සැකකරු විසින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනට පෙර සකස් කර තිබූ ආර්දශ ප්‍රශ්න පත්‍රයක 02,05 සහ 06 ලෙස ඉහත ප්‍රශ්න ඇතුළත්ව තිබී ඇති බවත් එය සමාජ මාධ්‍ය මඟින් ඔහු විසින් පරිපාලනය කරන සමූහයක් වෙත යොමු කර ඇති බවත් විමර්ශන අංශ අනාවරණය කරගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.10.07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝගක කළ අතර අද යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා යළි එළඹෙන 22 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.







