පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වියදම් කර ඇතැයි ලංකාසරට වාර්තා වේ.
මේ බොහෝ නීති කටයුතු වලට යොදවා ගත් ඇතැම් නීතිඥයන් ක්‍රිකට් ආයතනයෙන්ම ධන කුවේරයන් බවට පත්ව ඇති බව එහි ගිනුම් අංශ වාර්තා වලින් දැක්වේ.
කොළඹ එක්තරා ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජයක නිතර ගැවසෙන එකම නීතිවේදීන් පිරිසක් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් විව්ධ නඩු හා නීති උපදෙස්, ගිවිසුම් සඳහා යොදා ගෙන තිබීමද විශේෂත්වයකි.
මෙම පිරිසට විශාල ලෙස ගාස්තු ගෙවමින් නඩු අවස්ථා ලබා දෙන්නේ වසර ගණනක් මුළුල්ලේ ක්‍රිකට් ආයතනයේ නීති උපදේශක ලෙස කටයුතු කරන නීතිඥයෙකි.
ආයතනයේ කලක් සේවය කළ නිලධාරිනියකගේ රැකවලකු ලෙස කටයුතු කරන මොහුගේ ගෝලයකුද ක්‍රිකට් ආයතනයේ නීති නිලධාරී ලෙස ලක්ෂ පහක වැටුපක් සමග පත්වීමක් ලබා දී තිබේ.
ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණන් වියදම් කරමින් වැඩි වශයෙන් නීති උපදෙස් ලබා දී ඇත්තේ ක්‍රිකට් නිලධාරීන්ට, ක්‍රීඩා සමාජ වලට, වැරදි ලෙස අත්සන් කර ඇති ගිවිසුම් වලට එරෙහිව ගොනු කර ඇති නඩු සඳහාය.
අඩුපාඩු සහිතව ගිවිසුම් අත්සන් කර තිබියදී තමන් සේවයෙන් පහ කිරීම පිළිබඳව හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ජාත්‍යන්තර උසාවියක පැවරූ නඩුවට වියදම් කර ඇති විශාල මුදලද මෙයට ඇතුළත් ය.
ඊට අමතරව දූෂණ හා වංචා පිළිබඳ වාර්තාකළ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට එරෙහිව පවරන ලද නඩු හා එන්තරවාසි සඳහාද නීතිඥයන්ට විශාල වශයෙන් මුදල් ගෙවා ඇත.
ඇතැම් නිලධාරීන්ට එරෙහිව පුද්ගලිකව පවරා ඇති නඩු වලටද නීතිඥ ගාස්තු ක්‍රිකට් ආයතනයේ අරමුදල් වලින් ගෙවා තිබීමද විශේෂත්වයකි.







