කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 30කට වැඩි කාලයක් ප්‍රමාද වීමෙන් පසු මෙල්බර්න් සිට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-605 ගුවන් යානය අද පෙරවරු 7.40ට
මගීන් 218 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 17 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට පැමිණි බව ජාතික ගුවන් සේවය පවසයි.
මෙම ගුවන් යානය සෙනසුරාදා (15) පස්වරු 4.10 ට මෙල්බර්න් නුවරින් පිටත් වීමට නියමිතව තිබූ අතර, එදිනම රාත්‍රී 10:25 ට ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතව තිබිණි.
එහෙත් කාර්මික දෝෂයක් පැන නැගුණ බැවින් එය නිවැරදි කරගෙන ඉරිදා පස්වරු 4.30ට පියාසාර කිරීමට සැලසුම් වූයේය.
එහෙත් එම කාල සැලැස්ම ද වෙනස් වී යානය යළිත් UL – 605 ගුවන් යානයේ කොළඹ ගමන යළිත් ප්‍රමාද වූයේ දෝෂය නිවැරදි කරගත නොහැකි වූ බැවිනි.
මේ තත්ත්වය තුළ යානයේ ඇති වූ දෝෂ නිවැරදි කිරීම සඳහා ඉංජිනේරුවන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෙනසුරාදා (15) රාත්‍රියේ මෙල්බර්න් වෙත පිටත් කර යවා තිබිණි.
කෙසේ වෙතත් පැය 30කට වැඩි කාලයක් ප්‍රමාද වීමෙන් පසු UL 605 දරණ ගුවන් යානය අද (17) පෙරවරුවේ යළි කටුනායක ගුවන් තොටුපලට පැමිණියේය.
මේ සම්බන්ධව කළ විමසීමක දී ගුවන් තොටුපල ආරංචි මාර්ග හෙළිදරව් කළේ මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු පැරණි ගුවන් යානා නඩත්තුව සම්බන්ධව බරපතල ප්‍රශ්න රැසක් අභ්‍යන්තරයේ මතු වී ඇති බවය.
පළපුරුදු ඉංජිනේරුවරුන් ආයතන හැර යෑම ඇතුළු අර්බුදකාරී තත්ත්ව ඇති වී තිබෙන බවත්, ඊයේ දිනය තුළ පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් තුනක් අවලංගු වුන බවත් එම ආරංචි මාර්ග කීවේය.
“ කැන්සල් වෙන ෆ්ලයිට්වල මගීන්ට හරියට කෑමක්වත් නෑ. වතුර බෝතලයක් ලැබෙන්නේ. ඒවත් ලැබෙන්නේ කැටගරයිස් කරලා… මගීන් හරිම නොසන්සුන් වෙලා හිටියෙ….”
ගුවන්තොටුපල ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.