ශ්‍රියානි විජේසිංහ –
රජය මගින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව හරහා වෛද්‍ය අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනසක් ඇතිකිරීමට කටයුතු කරන බවත් එම ව්‍යුහාත්මක වෙනස කුමක්ද යන්න පිලිබඳව වහාම පැහැදිලි කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.
ලංකාවේ සිසුන්ට ලංකාව තුළ මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ ක්‍රමයක් නොතිබුණ බවත් නව කැබිනට් පත්‍රිකාව හරහා එම අවස්ථාව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට හිමිකර දීමට රජය අදහස් කර ඇති බවත් සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
කැබිනට් පත්‍රිකාව හරහා සඳහන් වන්නේ උසස්පෙළ ප්‍රතිපල හා වෙනත් සුදුසුකම් මත බදවා ගැනීම් සිදුකරන බව යැයි ද මෙහි වෙනත් සුදුසුකම් මොනවාද? මෙහි අරමුණ කුමක්ද? යන්න පිලිබඳව නිවැරදිව සඳහන් කර නැතැයි ද හෙතෙම පෙන්වාදේ.
මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ වෙනසක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක සහ පසුබිම් අධ්‍යනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ඒ සම්බන්ධයෙන් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන්නේ නම් සියලුම පාර්ශ්ව එකතු කර තීන්දු ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමය කියයි.
එසේ නොවන්නේ නම් අනවශ්‍ය අර්බුදයක් ඇතිවිම වැලැක්විය නොහැකි බවද එසේ යම් හානියක් ඇති වුවහොත් මේ සම්බන්ධයෙන් තීන්දු තීරණයන් ගත් අයම වගකිව යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අවධාරණය කරයි.







