දිනසේන රතුගමගේ –
හින්දු බැතිමත්හු හෙට (14) තෛපොගල් සමරති. මේ අවස්ථාව වන විට උතුර ඒ සංස්කෘතික සැණකෙළියට සූදානම් වෙමිනි.
අනෙක් සෑම සංස්කෘතික උත්සවයක් සේම තෛපොංගල් උත්සයත් චාරිත්ර වාරිත්ර සහිත සංස්කෘතික නැඹුරුවකට වඩා නව වෙළෙඳපලක් නිර්මාණය කර ඇති වාණිජ තරගයක් බවට පත් වෙමින් ඇති අයුරු දකිමු. මේ වනවිට යාපනයේ දක්නට ලැබෙන්නේ ඒ තරගයේ ස්වරූපය ය.
යාපනයේ තිරුණවේලී ප්රදේශයේ වෙළඳසැල් ගණනාවකම තෛපොංගල් කිරිබත් පිසීම සඳහා යොදා ගැනීමට විවිධ මෝස්තර වලින් අලංකාරයෙන් සරසන ලද මුට්ටි සිය ගණනක් නොයෙක් හැඩයෙන් වෙළඳපලට එක් කර තිබුණි. අතීතයේ සිට මේ දක්වා තෛපොංගල් දිනයේ කිරිබත පිසීමට යොදා ගන්නා මුට්ටිය සිත්තම් කළේ නිවසේ ගෘහණිය විසිනි. ඊට හින්දු බැතිමතුන් සදහන් කලේ ” කෝලම් ඇදීම ” ලෙසයි.
කිරිබත් පිසින මුට්ටියේද මුට්ටිය ලිප තබන ස්ථානය වටාද ඔවුන් කෝලම් ඇද ඒ බිම පූජනීය බිමක් බවට පත් කළහ. නමුත් මේ වසරේ බොහෝ චාරිත්ර උඩු යටිකුරු වී තිබෙනු දක්නට ලැබීම හින්දු සංස්කෘතියේ යම් කම්පිත වෙනසක් ලෙස බොහෝ දෙනෙක් හැඳින්වූහ.
තම ජීවිතයේ පලමු වතාවට විවිධ මෝස්තර වලින් අලංකාරයෙන් සරසන ලද මුට්ටියක තෛපොංගල් කිරිබත පිසීමට අශාවක් උපන් ගෘහණියෝ එවැනි අලංකර මෝස්තර මුට්ටි මිලට ගනිමින් සිටියහ.
ඒ අතරවාරයේ පැරණි මැටි මුට්ටිද නවීන වෙළද පලට එක් වූ ඇලුමිනියම් මුට්ටිද මෙවර තෛපොංගල් සමයේ උතුරේ සෑම පළාතකම දැකිය හැකි විය.







