මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ ලේකම්වරයෙක් බව හඳුන්වා දුන් සුදත් නැමැති පුද්ගලයාත්, ධීවර අමාත්‍යාවරයාගේ ලේකම්වරයෙක් බව කී නෙල්සන් එදිරිසිංහ නැමැත්තාත් අධිකරණ තීන්දුවකින් ගොඩ ගැනීමට සිටි යුද සමයේ වළලා දැමූ රන් ආභරණ හා යුද උපකරණ තොගයක් එසේ ගොඩ ගැනීමට පෙර දින රාත්‍රියේ ගොඩදමා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස පුදුකුඩුඉරිප්පු පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම්.ආර්. හේරත් හමුවී පසුගිය 23 දා රාත්‍රී කාලයේ කළ බලපෑමක් පිළිබඳව උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
එල්.ටී.ටී.ඊ. මහවිරු සමරුව නිසා ලබන 02දා දක්වා කල් ගියත් අධිකරණ නියෝගය මත මෙම කැණීම සිදුකිරීමට නියමිතව තිබුණේ පසුගිය 25 දා ය. මෙම පුද්ගලයින් දෙදෙනා 23 දා රාත්‍රියේ පුදුකුඩුඉරිප්පු පොලිසියේ පොලිස් ස්ථානාධීපතිවරයා හමුවී බලපෑම් කර ඇත්තේ 24 දා රාත්‍රියේ එම නීති විරෝධී කැණීම කිරීම සඳහා සහාය ලබා දෙන ලෙසය.
පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පසුව පවසා ඇත්තේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාගේ සහ ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාගේ ලේකම්වරුන් යැයි හඳුන්වා දෙන මෙම පුද්ගලයින් දෙදෙනා 23 දිවා කාලයේ ඔහු හමුවීමට එන බව දන්වා ඇමතුමක් දී රාත්‍රියේ දී ස්ථානාධිපති නිල නිවසට පැමිණි බවය.
මෙම වසමේ පෙර සිට ඔවුන් විසින් සැලසුම් කර තිබූ කැණීම් කටයුත්තක් සඳහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවත්, 2021.11.25 සිදුකිරීමට නියමිත එම නීත්‍යානුකූල කැණිමට පෙර දින රාත්‍රියේ එම ස්ථානය හෑරීමට සහාය ලබා දෙන ලෙසත් ඒ අවස්ථාවේ දී මෙම පුද්ගලයින් විසින් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මේ සිද්ධිය පිළිබඳ පුදුකුඩුඉරිප්පු ස්ථානාධිපතිවරයා විසින් දිස්ත්‍රික් භාර නිලධාරිවරයා හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විධිමත්ව දැනුම්වත් නොකිරීම පිළිබඳව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.







