මාතර – උදය-
වැලිගම පොලිස් වසමේ වල්ලිවල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රී 10ට පමණ නිවසක පිටුපස ඇති වූ ගින්නකින් එම නිවෙස ගිනිබත් වී එම නිවසේ සිටි සත් හැවරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ පිලිස්සීමෙන් මියගොස් ඇත්තේ වැවේගෙදර විජේරාම මාවත වල්ලිවල වැලිගම ලිපිනයේ පදිංචි ජී. ජී. සෙනුදි දේශානි ( 07) දැරියයි.
මෙම නිවසේ හිමිකරු වන ජී.ජී. කසුන් ප්‍රසාත් 38 සහ ඔහුගේ බිරිඳ ජී.පී. ඉමාශා දිල්හානි 34 සහ දියණියන් දෙදෙනා ද මවද ජීවත් වන අතර 30 දින රාත්‍රි ඔවුන් ආහාර ගැනීමෙන් පසු නින්දට ගොස් තිබේ.
පසුව රාත්‍රී10ට පමණ නිවසේ කොටසක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර මෙම ගින්න හේතුවෙන් නිවසියන් ට සිදු වූයේ කුමක් දැයි සිතාගැනීමට නොහැකිව කලබලයට පත්ව තිබේ . පසුව අසල්වැසියන්ගේ සහය ඇතිව ගින්න පානය කිරීමට උත්සාහ කළ ද පාලනය කර ගැනීමට නොහැකි වී ඇත.
එම අවස්ථාවේ නිවසේ නිදා සිටි දැරිය සොයා ගැනීමට අපහසු තත්ත්වයට පත්ව ඇති අතර ප්‍රදේශවාසීන්ගේ උපකාරද ගෙන සොයා බැලීමේදී නිවසේ ගිනිගෙන කඩා වැටුණු සුන්බුන් අතර සිරවී තිබූ දියණියගේ සිරුර දැක තිබේ. සිරුර ගින්නෙන් මුදා ගැනීමට අසීරු තත්ත්වයට පත්ව තිබේ . පසුව මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ පැමිණ ගින්න පාලනය කර ඇති අතර. නමුත් ඒ වනවිටත් දැරියගේ සිරුර දැඩි ලෙස ගින්නට හසුවී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පවුලේ ඥාතීන් පවසයි..

මෙසේ මියගොස් ඇත්තේ දියණියන් දෙදෙනෙකු සිටින පවුලේ බාලයා වන අතර මියගිය දැරියට වැඩිමල් සහෝදරියක් සිටී. මියගිය දැරිය පල්ලිවල ශ්‍රී ධර්මරාජ විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකි . ඇගේ වැඩිමහල් සහෝදරිය මේ නනවිට පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර විදුලි කාන්දුවක් යැයි සැකයක් ඇතිවන බවත් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්තද සොයිසා ගේ උපදෙස් මත වැලිගම පොලීසියේ සහ මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණ කිරීමටත් නියමිත තිබේ . අද 01 පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.







