පෙරේදා (08) කුරුණෑගල වැව රවුමේ දී අත් අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජනරාල් රණරාජා රණවක රුසියාවට කුලී හේවායන් ලෙස මිනිස් ජාවාරම් කිරීම සඳහා විශ්‍රාමික යුද හමුදා නාලධාරීන්ගේ සියලුම පුද්ගලික දත්ත සහිත ලේඛනයක් යුද හමුදා මූලස්ථානයෙන් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලින් හෙළි වී තිබේ.
ස්වකීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්වාස කර ආර්ථික අපහසුතාවලින් මිදෙන්නට රුසියාවේ හමුදා කඳවුරුවල රැකියාවට කැමති වීමෙන් පසු වංචා සහගත ලෙස යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලට යැවූ විශ්‍රාමික හමුදා සෙබලුන්ගෙන් කීප දෙනෙක් කුලී හේවාකමින් මිදී ලංකාවට පැනවිත් සිදුකරන හෙළිදරව් කිරීම් ඔස්සේ සිදුකරන මෙම විමර්ශනයේ දී හමුදා ප්‍රධානීන් රැසක් සම්බන්ධව අනාවරණය වනු ඇති බවත්, කණ්ඩායම් කීපයක් එක්ව මෙම ජාවාරම සිදුකර ඇති අතර මේ හෙළිදරව් වෙමින් ඇත්තේ ඉන් එක් ජාලයක් පමණක් බවත් විමර්ශන අංශ පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ පරීක්ෂණ අනුව හිටපු ශ්‍රී ලංකා සෙබළුන් 114 දෙනෙක් පමණ යුක්‍රේන යුද්ධයට එක්වීම සඳහා මෙරටින් පිටත්වී තිබේ. විශේෂත්වය වන්නේ ඉන් 60 දෙනෙකු රුසියාවටත් අනෙක් 54 දෙනා යුක්‍රේනයටත් පිටත් වී යෑමය. මෙසේ ගිය පිරිසෙන් 06 දෙනෙක් මේ වනවිට මිය ගොස් ඇතැයි තහවුරු වී තිබේ.
මේ වනවිට විමර්ශන සඳහා තොරතුරු සපයන ජාවාරමට හසු වි පණ බේරාගෙන පැමිණි විශ්‍රාමික හමුදා සෙබලුන් පවසන්නේ මේ වනවිට යුද පෙරමුණේ ශ්‍රී ලාංකිකයින් 1000ක් පමණ සිටින බවය. පහත දැක්වෙන්නේ රුසියානු යුද පෙරමුණේ සිටිනා ශ්‍රි ලාංකික කුලී හේවායන් සහිත වීඩියෝ දර්ශනයකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසන්නේ රුසියා – යුක්‍රේන යුද්ධයට ගොස් ඇති බවට වාර්තාවන තම සමීපතමයින්ගේ තොරතුරු 0718-592831 දුරකථන අංකයට ලබාදෙන ලෙසය. ජාවාරමට අදාළව පොලීසිය විසින් දිගින් දිගටම විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.