වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) ගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ඊයේ (03) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) පෙරවරුවේ වියට්නාමයේ නෝයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට (Noi Bai International Airport) ළඟා විය.
එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටු සාමාජිකයෙකු සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය න්ගුයෙන් මන් කුඕං (Nguyen Manh Cuong) ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.
මෙම පිළිගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති වන ට්‍රින් තී ටැම් (Trinh Thi Tam), වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක්ද සහභාගි වූහ.
අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හනෝයි හි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් ( Tô Lâm) හමුවීමට නියමිතය.
හෙට (05) දිනයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතය.
තවද, හෝ චි මිං නගරයේදී මැයි 06 වෙනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
එසේම, මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්ව සිටිති.







