ඊයේ සවස පාර්ලිමේන්තුව උණුසුම් කළ විනාඩි පහ යලිත් පාර්ලිමේන්තුව ඇවිලවීය. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ ඇති වූ එම සිද්ධිය හෙළා දැකීමත් සමගය.
විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල – “ඔබතුමා ආණ්ඩු පක්ෂයේ කතා නායක නෙමෙයි. ඔබ පාර්ලිමේන්තුවේම කතා නායක. මේ ප්‍රශ්නය ඇතිවුණු වෙලාවෙ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ පැත්තට ඇවිත් අපේ මන්ත්‍රීවරුන්ව තල්ලු කරලා ගහන්න හදලා තල්ලු කරලා විශාල වුලක් කළා. ඔබතුමා කැමැත්තෙන් හිටියේ විනාඩි පහ දෙන්න. ඒත් ආණ්ඩු පක්ෂයෙන් කිව්වා දෙන්න එපා කියලා.
කතා නායක ඒක සම්පූර්ණයෙන් වැරදියි.
විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල – ඔබතුමා ඒ බලපෑමට යටවුනා. මේ විදිහටද මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නෙ. අපේ රටේ ජනතාව දැනටමත් මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශාල කලකිරීමක් තියෙන්නෙ. ඉතින් ඔබතුමා මේක පාලනය කරන්න. එහෙන් කණ්ඩායමක් තමයි මේ පැත්තට ආවෙ.
සභානායක – ( දැඩි ආවේගයන්) එතුමාගෙ ඇස් පෙනුනනාම් හොඳයි.. වුනේ මොකක්ද කියලා හොඳට සිහිකරගන්න. කවුද මුලින්ම මේ පැත්තට ආවෙ. කවුද ගිහින් කතානායකවරයාට තර්ජන කළේ. අපේ යුතුකම පාර්ලිමේන්තු කටයුතු කරගෙන යන්න සහයෝගය දීමයි. මන්ත්‍රීවරු කතානායක තුමාට භායානක තර්ජනය කරනවා. ඔබ ඔබේ පැත්තෙන් මේ හෙළාදැකීම කරන්න.
එතැන් සිට කතාව ඇවිලුනේය. මනුෂ නානායක්කාර කීවේ තමන්ගේ විනාඩි පහ කප්පාදුව සම්බන්ධව විමසීමට කතානායකවරයා අභියසට ගිය අවස්ථාවේ කාංචන විජේසේකර තමන් තල්ලු කර දැමූ බවය. හර්ෂ ද සිල්වා හා පාර්ලිමේන්තු සේවකයින් නොසිටින්නට ඔහු ඇදවැටෙන බවය.
මේ අවස්ථාවේ දී ජොන්සටන් ප්‍රනාන්දු ආණ්ඩුපක්ෂයේ සංවිධායකවරයා කතානායක පුටුව පසුපසින් පැමිණ තමන්ට අමු තිත්ත කුණුහරපයෙන් බැණ වැදුණු බව කීවේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේ කතානායකවරයාට අත තබන්නට විපක්ෂයේ එකෙකුටවත් ඉඩනොතබන බවය.
“ කතානායක තුමාට තර්ජනය කරනවා. මෙතුමා තරම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුව හසුරුවපු කතානායක වරයෙක් නෑ. හිතන් ඇති ආණ්ඩුව ඔයාලගෙ කියලා. ආණ්ඩුව අපේ. “
ජොන්සටන් කීවේය. ගයන්ත කරුණාතිලක ඒ අවස්ථාවේ දී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ කතානායකවරයාට කවුරුන් හෝ මන්ත්‍රීවරයක් තර්ජනය කළානම් එසේ කළා ද නැද්ද යන්න පිළිබඳව මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන ලෙසයය.
පක්ෂ නායක රැස්වීමේ දී මේ පිළිබඳ ප්‍රකාශයක් කරන බව කතානායකවරයා කීවේය







