-
විදුලි බිල වැඩි කිරීමේ බලය ඇත්තේ ඇමතිටයි කැබිනට්ටුවටයි!. විදුලි බිල වැඩි කරන්න නොදෙන්නේ ට්‍රිලියම් රෙසිඩන්සීස් බිල වැඩිවෙන නිසා සභාපති ගැන පරීක්ෂණයක් කළ යුතුයි !
-
ඔරලෝසු දෙකක් බඳිනකොටම තේරුණා අප්සට් කියලා – මන්ත්‍රි දොලවත්තත් කියයි
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සහ හෝටල් හිමි පුද්ගලයකු බවත් ඔහුට වැඩිවන විදුලි බිල ගෙවීමට නොහැකි නිසා ඔහු විදුලිය ගාස්තු වැඩි කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහජන උපයෝගීතා කොමිසමට එසේ කිරීමට බලයක් නැති බවත් ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේදි මහජන උපයෝගීතා කොමිෂන් සභාපතිවරයා දෝෂ දර්ශනයට ලක් කළේය.
විදුලිය ගාස්තු වැඩි කිරීමේ බලතල පවතින්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට බව ද සඳහන් කළ ජනධිපතිවරයා මහජන උපයොගීතා කොමිෂන් සභා පනත සකස් කළේ තමන් බැවින් තමා එය හොඳාකාරවම දන්නා බවද අවධාරණය කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
“විදුලිය ගාස්තු තීරණය කිරීමේ බලය ඇත්තේ ඇමතිතුමාටයි කැබිනට් එකටයි. මහජන උපයෝගිතා කොමිසමේ පනත හැදුවේත් මමයි. මම දන්නවා හොඳින් ඒ ගැන. මිල ප්‍රතිපත්තිය ඇමති කළ යුතුයි. මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියට එය ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
මේ සභාපතිතුමාට තිබෙනවා ට්‍රිලියම් රෙසිඩන්සීස්. ට්‍රිලියම් කියන්නේ අධි සුඛෝපභෝගි එනම් ලක්සූරියස් නිවාස, කාර්යාල, එතුමට කොළඹ හතේ හෝටල් තිබෙනවා. මීගමුවේ විලා තිබෙනවා. හැව්ලොක් ට්‍රිලියම් රෙසිඩන්සීස් තිබෙනවා. මේ සුඛෝපභෝගී දේපළවලට වැඩි විදුලි බිලක් යනවා. එතුමට මේක බලපානවා. ඒ නිසා මට මේක බලපාන නිසා විදුලි බිල වැඩි කරන්න දෙන්න බෑ
මහජන උපයෝගීතා කොමිෂන් සභාපති සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. ඔහු හැසිරෙන හැටි දන්නේ නෑ. විදුලිය වැඩිවීම මටත් ප්‍රශ්නයක්. මට දැන් ගෙදරක් නැති නිසා ප්‍රශ්නයක් නෑ.
මම දුටුවා විදුලි ඉංජිනේරුවන්ද මේ විදුලි බිල වැඩි කිරීම නොකළ යුතුයි කියල කියනවා. ඔවුන් විදුලි බිල සම්බන්ධ යෝජනා ගේන්න කලින් තවම අනුමැතිය ලබා දී නැති පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති අනුමත කරන්න කියල මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.
විවාදයට එක්වූ පොදුජන පෙරමුණු මන්ත්‍රි ප්‍රේම්නාත් සී දොලවත්ත ද මෙම මහජන උපයෝගීතා කොමිෂන් සභාපතිවරයා සම්බන්ධයෙන් යම් තීරණයක් ගත යුතු බව අවධාරණය කළේය.
“මේ සභාපතිවරයා අත් දෙකටම ඔරලෝසු බඳින කෙනෙක්. ඒකෙන්ම මම හිතුවා මෙයා නම් හරියන කෙනෙක් නෙවෙයි කියල. මෙයාට යම් මානසික ආබාධයක් තිබෙනවා. “ යයිද පැවසීය.