ශ්‍රියානි විජේසිංහ –
විදේශ පුහුණුව සදහා යන වෛද්‍යවරුන්ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) අය කරගත යුතු ආකාරය සම්බන්ධව උපදෙස් පතමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර තිබේ.
අත්තිකාරම් පුද්ගල ආයාදම් බදු අයකරගැනීමේ ඒකකයේ කොමසාරිස්වරයා වෙත අදාල ලිපිය යොමු කරන සෞඛ්‍ය ලේකම්වරයා විදෙස්ගතවන වෛද්‍යවරයෙක් වෙත ලබා දෙන සියලුම අධ්‍යයන දීමනා ජීවන වියදම් දීමනා ඇතුළු සමස්ථ දීමනා ප්‍රමාණය ගණනය කර ඉදිරිපත් කර එම මුදලින් බදු අය කරගත යුතු ආකාරය සම්බන්ධව මෙසේ උපදෙස් පතා තිබේ.
කෙසේ වෙතත් විදෙස් පුහුණුව සදහා යන වෛද්‍යවරුන්ගේ දීමනාවෙනුත් බදු අය කරගැනීමට තීරණය වන්නේ නම් එසේ පුහුණුව ලබන වෛද්‍යවරුන් සංඛ්‍යාව සීමා වනු ඇති බව සෞඛ්‍ය අංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලැබෙන දීමනාවෙන් සියයට 30 ප්‍රතිශතයකින් බදු අය කිරීමේදී වෛද්‍යවරයෙකුගේ වියදම සදහා ඉතිරි වනුයේ ඩොලර් 1500ක වැනි මුදලක් බැවින් විදේශ රටකදී එවැනි මුදලකින් වියදම් පියවා ගැනීම පහසු නොවන බව වෛද්‍යවරු සදහන් කරති.
විදේශ පුහුණුව සඳහා යන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව මෙසේ අඩුවීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට හේතුවන් වනු ඇතැයි ද වෛද්‍යවරු පවසති.







