විදේශ අමාත්‍යංශය කියන ලෝක බැංකු ඩොලර් මිලියන 700 කතාව බොරුවක් ! ලෝක බැංකුවම කියයි
ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් පමණ ලබා දීමට ලෝක බැංකුව පොරොන්දු වී ඇති බවට විදේශ අමාත්‍යාංශ විසින් කරන ලද ප්‍රකාශය ලෝක බැංකුව අද ප්‍රතික්ෂේප කළේය.
දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වයක සිටින ශ්‍රි ලංකාව ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බවටද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යක්ෂ ෆාරිස් එච් හදාද් සර්වොස් සඳහන් කර ඇත.
ඇය තවදුරටත් පෙන්වා දෙන්නේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව ණය බැඳීමක් ලෙස ආධාර කිරීමට සැලසුම් කරන බවට මේ වනවිට පලවන මාධ්‍ය වාර්තා තොරතුරු සාවද්‍ය ලෙස ප්‍රකාශ කර ඇති බවයි.
“ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වනවා. ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් පදනම් වූ වර්ධනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරනවා. කෙසේ නමුත් ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝකය බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් කරන්නේ නෑ ” ඇය මෙම නිවේදනයේ සඳහන් කර ඇත.
ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවේ, “අපි දැනට රජයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග, දුප්පත් සහ අවදානමට ලක්විය හැකි නිවාස සඳහා තාවකාලික මුදල් මාරු කිරීම්, අවදානමට ලක්විය හැකි පවුල්වල දරුවන්ට පාසල් ආහාර සහ ගොවීන්ට සහය දැක්වීම සඳහා කලින් අනුමත කරන ලද ව්‍යාපෘතිවල මුදල් නැවත සකස් කරමින් සිටිමු. ” යන්නයි.