දිනසේන රතුගමගේ –
මුලතිව් ඔට්ටිසුඩාන් පෙරියසාලම්බන් ප්රදේශයේ කුඹුරක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් විශාල දළ ඇතෙකු ඊයේ (22) රාත්රියේ දී මියගොස් තිබේ.
ගම්වාසීන් පිරිසක් රාත්රියේ පැල් රැක නිවෙස් වලට පැමිණෙමින් සිටියදී මියගොස් සිටින දළ ඇතා දැක ඇති අතර ඔවුන් ඒ පිළිබදව ඔට්ටිසුඩාන් පොලීසියට තොරතුරු දැනුම් දී තිබේ.
පොලීසිය වන ජීවී නිලධාරීන්ට මේ බව දැනුම් දී ඇති අතර නිලධාරීන් පිරිසක් එහි ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
එම නිලධාරීන් දළ ඇතා වැටී සිටි කුඹුරේ අයිතිකරුගෙන් මේ ගැන තොරතුරු විමසා සිටි අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ දළ ඇතා තම කුඹුරේ ඇද වැටී මියගොස් ඇති නමුත් තමන්ගේ කුඹුරට විදුලි රැහැන් කිසිවක් ඇද නොමැති බවය.
වන ජීවී නිලධාරීන් ඔට්ටිසුඩාන් පොලීසියේද සහය ඇතිව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන අතර මියගිය දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම දළ ඇතා වයස අවුරුදු 15 ක පමණ දළ ඇතෙකු බවත් එම ඇතා ගම්වාසීන් අවස්ථා ගනණාවකදීම දැක ඇති බවත් පොලීසියට ප්රකාශ කොට තිබේ.







