වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ උත්සවයකට ඇතුළු වී ආහාර ලබා ගැනිමට උත්සාහ කිරීමේ දී පොලිස් භාරයට ගත් නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනා අවවාද කිරීමෙන් පසු මුදා හැර ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
පසුගිය ඉදරිදා වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ උත්සවයක් අතරතුර ඔවුන් එහි ඇතුළු වී ආහාර ලබා ගැනීමට උත්සාහ කර තිබිණි.
එහි දී විවාහ මංගලය සංවිධානය කළ පිරිස මෙම දරුවන් දණගස්වා ඒ පිලිබඳ නගරාධිපතිනි ජි.ජි.එච්. යමුනා කාන්ති දැනුවත් කර ඊට පසු පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මත ඔවුන්ව පොලිස් අත්අඩංගුවට පත් කරනු ලැබුවේය.
එහි දී ළමයින් පස් දෙනාගේ දෙමාපියන්ද පොලිසියට කැඳවා සිද්ධිය පිලිබඳව පැහැදිලි කළ බව පොලිසිය කියයි.
ඉන්පසු මෙම තරුණ දරුවන් පස් දෙනා අවවාද කිරිමෙන් පසු මුදා හැරි බවයි පොලිසිය සඳහන් කරයි.
දින කිහිපයක සිට වැලිගම නගර ශාලාවේ පවත්වන විවාහ උත්සවවලට ඇතුළු වී ආහාර ලබා ගන්නා බවට තොරතුරු ලැබි ඇතිබව නගරාධිපතිවරිය කියා තිබිණි.
මෙම සිද්ධියට ලක්වු සිසුවකු මාධ්‍යයට කියා තිබුණේ මේසේය.
“එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ. ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා. විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා. ටික වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.”
ලෝක ආහාර වැඩසටහන ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ රටේ සෑම පවුල් පහකින්ම හතරක් ආහාර ලබා ගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළෙන බවය.
ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් රටේ පවුල් 61000කට ආහාර ලබා ගැනීමේ කිසිම අවස්ථාවක් නැති බව පැවසුවේය.







