වර්ෂ 2012 නොවැම්බර් මස 09 සහ 10 දෙදින තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතන නඩුවට අදාළ ප්‍රධාන විත්තිකරුවන් දෙදෙනාගෙන් කෙනෙක් වූ වැලිකඩ බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ළමාහේවාට අධිකරණය විසින් අද (12) මරණීය දණ්ඩනය නියම කළේය.
එම සිද්ධියට චෝදනා එල්ලවී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලෙසද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කරනු ලැබුවේය.
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතන 27 දෙනා ඝාතනය සම්බන්ධ සිද්ධියේ සාක්ෂි සම්පිණ්ඩනයෙන් පසු කොළඹ මහාධිකරණයේ ගොනුවූ ඝාතන 08ක් සම්බන්ධව වසර 10ක් තිස්සේ ඇසෙමින් පැවති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාට මෙසේ මරණීය දණ්ඩනය හිමි වී තිබිණි.
මෙම නඩු තීන්දුව ගිහාන් කුලතුංග ගේ සභාපතිත්වයෙන් යුතු ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කළේය.
මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ ඒ සිදුවීම වූ අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ළමාහේවාට එරෙහිව නඩු පවරනු ලැබුවේය.
පසුගිය 06 වැනිදා ලබා දීමට නියමිතව තිබූ තීන්දුව අද දිනය දක්වා කල් දැමීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.